විශ්‍රාමික රණවිරුවන් ‘ඉටුකම’ අරමුදල සදහා සිය දායකත්වය ලබා දෙයි

ජුනි 11, 2020

·         හිටපු සන්නද්ධ හමුදා සාමාජිකයින් ලෙස සිදු කල දායකත්වය අගය කෙරේ

හෙළ රණවිරු බළමුළුවේ අනුරාධපුර ශාඛාව මගින් ඉටුකම කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සදහා රු. 291,000 ක මුල්‍යමය ආධාරයක් ලබා දී ඇත.

මෙම මුල්‍යමය ආධාරය සදහා ත්‍රිවිධ හමුදාවේ පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකායේ සේවය කර නිත්‍යානුකුලව ඉවත්වූ සහ ආබාධිත රණවිරුවන් විසින් ඔවුන් දැනට සක්‍රීය සේවයේ නොසිටියද තම මව්බිම වෙනුවෙන් ඉටුකළයුතු සේවය තවදුරටත් ඉටුකරමින් තම අභිමතය පරිදි ලබාදුන් මුල්‍යමය පරිත්‍යාග අද (ජුනි 11) දින අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත භාරදෙන ලදී.

මෙම මුල්‍යමය ආධාරය සදහා විශ්‍රාමලත් ආබාධිත තත්වයේ පසුවූ හදිසි අනතුරකින් මියගිය ගජබා රෙජිමේන්තුවේ සේවය කල කෝප්‍රල් ඒ බන්දුල රණවිරුවාගේ බිරිදවන ජීවනී ප්‍රියංගිකා ප්‍රනාන්දු විසින් රු.100,000 ක මුදලක් පරිත්‍යාග කර ඇත.

හෙළ රණවිරු බළමුළුවේ ආරම්භක සභාපති මෙන්ම වර්ථමාන අනුශාසක වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ගුණරත්න, “ඔබ සියළු දෙනා මෙන්ම මමද එකම නිල ඇදුමක් ඇඟළු යුද්ධ හමුදා සාමාජිකයකු ලෙස ඔබලා විසින් සිදු කල පරිත්‍යාගය පිලිබදව සන්තෝෂ වනවා,”යැයි වැඩිදුරටත් පැවසීය.  

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය හා වත්මන් ආරක්ෂක ලේකම්ගේ මගපෙන්වීම මත දිවයිනේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට රණවිරුවන් සහ රජය ගන්නා උත්සාහයන්ට සහාය වීම සදහා මෙම පරිත්‍යාගය සිදු කල බව හෙළ රණවිරු බළමුළුවේ අනුරාධපුර ශාඛාවේ ප්‍රධාන සංවිධායක ලුතිතන් කර්නල් (විශ්‍රාමික) නාමල් තිලකරත්න පැවසීය.

 කොවිඩ් - 19 වසංගත තත්වය පමණක් නොව ඉදිරි අනාගතයේදීද ඇතිවිය හැකි මෙවැනි තත්වයන් වලට මුහුණ දීම සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් මෙම අරමුදල මාර්තු 23 වන දින පිහිටුවන ලද අතර ජනාධිපති අරමුදලින් රු. මිලියන 100  ක් මේ සදහා ප්‍රධානය කර ඇත.

නිත්‍යානුකුලව ඉවත්වූ ත්‍රිවිධ හමුදා,පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින් බොහෝ පිරිස් මේ වන විටත් ඒ සදහා සිය මුල්‍ය ආධාර ආරක්ෂක ලේකම් වෙත භාර දීමෙන් අරමුදල සදහා විශාල දායකත්වයක් ලබා දී ඇත.