සොල්දාදුවා සෑම විටම සොල්දාදුවෙකි - ආරක්ෂක ලේකම්

ජුනි 11, 2020

සොල්දාදුවන් ඉතා අභිමානයෙන් යුතුව සේවය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා සිටියේ සොල්දාදුවන්ට විශ්‍රාම ගත නොහැකි බවයි.

රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සභාපති,ප්‍රධාන විධායක නිලධාරි මේජර් (විශ්‍රාමික) දුලත් එල් විජේතිලක ඇතුළු අනෙකුත් නිලධාරින් අමතමින් රජයේ මූල්‍ය හා වෙනත් ප්‍රතිපත්ති වලට අනුකූලව වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ ශක්‍යතාව සොයා බැලීමට  ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
 
තම හමුදා සේවා කාලය සහ වත්මන් ආරක්ෂක ලේකම් ධුරය පිළිබඳ සඳහන් කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ “එකපාරක් සෙබලෙක් වෙච්ච කෙනා හැමදාමත් සෙබලෙක්” වන බවත්ය. පුහුණුව ශික්ෂණය හා අභිප්‍රේරණයෙන් යුත් සොල්දාදුවන් සෑම විටම සේවය සදහා සුදානම් බව ඔහු තවදුරටත් පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම්ව සිටියදී රක්නා ආරක්ෂක ලංකා සමාගම පිහිටුවන ලද අතර ඒ තුලින් විශ්‍රාමික සොල්දාදුවන් දහස් ගණනකට රැකියා අවස්ථා සැපයීමට මග පෑදී ඇත.
 
වයස අවුරුදු 18 දී හමුදාවට බැදෙන පුද්ගලයින් වසර 22 ක් හමුදාවේ සේවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම යන විට වයස අවු.40 ක් පමණ වුවද ඔවුන්  තවමත් සෞඛ්‍ය සම්පන්න දක්ෂ නිලධාරින් බවත් ඔවුන්ගේ සේවය ප්‍රතිඵලදායී ලෙස ලබා ගැනීම සඳහා සේවයේ යෙදවිය හැකි බවත් මේජර් ජෙනරාල් ගුණරත්න ප්‍රකාශ කරන ලදී.
 
“අපේ මව්බිම ආරක්ෂා කිරීම සඳහා රක්නා ආරක්ෂක ලංකා සමාගම පිහිටුවා ඇති අතර මෙම සංවිධානය උසස් ස්ථානයකට ගෙන ඒම අපගේ වගකීමකි” ඔහු පැවසීය.