ජනාධිපති ලේකම් කාර්යාලයට , මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු මහජන ගැටළු ලබා ගැනීම සඳහා නව ඔම්බුඩ්ස්මන්වරයෙක්

ජුනි 12, 2020

විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් ධූරයට අද (12) දින සිට පත්කර ඇති බව ජනාධිපති  මාධ්‍ය අංශය පවසයි.

මහජන දුක්ගැනවිලි හා ගැටළු වලට පිළිතුරු සැපයීම සඳහා පිහිටුවන ලද මෙම නව කාර්යාලය, සිවිල් ජනතාවගේ ජීවිතයට බාධා පමුණුවන, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිසරයට සිදුවන හානි සහ වෙනත් ඕනෑම නීති විරෝධී කටයුත්තක්  පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් පිහිටුවීමේ පරමාර්ථය වනුයේ රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හෝ පවරා ඇති පරිපාලනමය රාජකාරි ඉටු කිරීමේදී ඔවුන් වෙත පවරා ඇති බලතල ඉක්මවා ක්‍රියා කිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අපහසුතාවන්ට හෝ පීඩාවන්ට විසඳුම් ලබා දීමයි.

කොළඹ 01, ජනාධිපති මාවතේ පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ 03 වැනි මහලේ කාර්යාලය ස්ථාපනය කර තිබේ.

මහජනතාවට තම පැමිණිලි හෝ දුක්ගැනවිලි කාර්යාලයට පැමිණ පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇති අතර  තැපල් මගින් ද  011-2338073 ෆැක්ස් අංකය හෝ ombudsman@presidentsoffice.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ පැමිණිලි යොමු කළ හැකිය.