ගංවතුරෙන් හානියටපත් ළමා උද්‍යානය යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කෙරේ

පෙබරවාරි 07, 2019

පසුගිය දිනවල උතුරු ප්‍රදේශයට ඇතිවූ ගංවතුර හේතුවෙන් අවතැන් වූ ජනතාවට යුද්ධ හමුදා භටපිරිස් විසින් සහන සැලසීමේ කටයුතු දිගටම සිදුකල අතර එහි තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස ජලගැලීම්වලින් හානියට පත්වූ කාකතිවු අනාකෝට්ටායි පෙර පාසල් පරිශ්‍රයේ ඇති ළමා උද්‍යානය සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.‍ ඒ අනුව, පසුගිය අඟහරුවාදා (පෙබරවාරි 5) ප්‍රතිසංස්කරණය කරන ලද ළමා උද්‍යානය විවෘත කිරීමේ උත්සවය පවත්වන ලදී.

තවද, පෙරපාසල් ළමුන් 50 දෙනෙකු සඳහා පාසල් උපකරණ අඩංගු ත්‍යාග පාර්සල් 50 ක් ද, අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් 50 දෙනෙකු සඳහා වියළි සළාක පර්සල් 50 ක් ද මෙම අවස්ථාවේදී බෙදාදෙන ලදි.

මෙම අවස්ථාවට 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, ජේෂ්ඨ හමුදා නිලධාරීන්, ප්‍රතිලාභීන් ඇතුළු ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි වූහ.

පසුගිය වසරේ දෙසැම්බරයේ දී ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට විය. ගංවතුරෙන් පීඩාවට පත් වූ ජනතාව බේරා ගැනීමේ මුලික මෙහෙයුම් සහ සහන සැලසීමේ කටයුතුවලට අමතරව, ඔවුන්ගේ ජන ජීවිතය නැවත යතා තත්ත්වයට පත් කිරීම සඳහා හමුදා භටපිරිස් විසින් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන ලදී. අදාළ සුභසාධන ව්‍යාපෘතියේම කොටසක් ලෙස මෙම ළමා උද්‍යානය අලුත්වැඩියා කිරීම ද සිදුකර ඇත.