ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ‘එක් දින සේවාව’ ජුනි 22 දින සිට නැවත ආරම්භ කෙරේ

ජුනි 15, 2020

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ‘එක් දින සේවාව’ 2020 ජුනි 22 වන දින සිට නැවත ආරම්භ කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.   

පසුගිය මාර්තු 16 දින සිට තාවකාලිකව අත්හිටවා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ‘එක් දින සේවාව’ මහජනතාව වෙනුවෙන් නැවත මෙසේ ආරම්භ කෙරෙනුයේ මාස තුනකට වඩා වැඩි කාලයකට පසුවය.   

එක් දින සේවාව ලබාගැනීම සඳහා පැමිණෙන පිරිස අවම කර ගනිමින් සේවාව සැලසීමට වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් ලෙසින් දිනකට ජාතික හැදුනුම්පත් 300 ක ප්‍රමාණයක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී වී ගුණතිලක defence.lk වෙත පැවසීය.   

එසේ, දිනකට නිකුත් කරනු ලබන ජාතික හැදුනුම්පත් 300 ක ප්‍රමාණයෙන් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් 250 ක් හා ගාල්ල දකුණු පළාත් කාර්යාලය මගින් 50 ක් ද නිකුත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.  

මෙම විශේෂ වැඩසටහන යටතේ එක් දින සේවය මගින් ජාතික හැදුනුම්පත් ලබාගැනීමට අපේක්‍ෂා කරන්නේ නම් ඉල්ලුම් පත්‍රය ග්‍රාම නිලධාරි මගින් සහතික කර, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැදුනුම්පත් ශාඛා කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතුය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් ඉදිරි කාර්යාල වැඩ කරන දින 10 ක් ඇතුළත පැමිණිය හැකි පහසු දිනයක් හා වේලාවක් සහිත වෙන් කල අංකයක් ලබාගත යුතුය.   

නියමිත දින නියමිත වේලාවට දෙපාර්තමේන්තුව වෙත පැමිණිය යුතු අතර, පැමිණීමට අපොහොසත් වන්නේ නම් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙතින් වෙනත් දිනයක් ලබාගත යුතුය.   

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙතින් ජාතික හැදුනුම්පත් ලබාගැනීමට පැමිණෙන සියලුම ඉල්ලුම්කරුවන් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදිය යුතු අතර මුඛ ආවරණ පැලදීම අනිවාර්ය වන බවත් උණ, සෙම් ප්‍රතිශ්‍යාව, හිසරදය වැනි රෝග ලක්‍ෂණ තිබෙන්නේ නම් එක් දින සේවාව සඳහා යොමු නොවිය යුතු බවත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් පැවසීය.