කොරෝනා වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව දරණ උත්සාහයන් පිළිබඳව NOCPCO ප්‍රධානියා විදේශ තානාපති කාර්යාල නිලධාරීන් දැනුවත් කරයි

ජුනි 17, 2020

COVID-19 පැතිරීම වැළක්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳව අඟහරුවාදා (ජූනි 16) දින විදේශ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සමඟ පැවති සාකච්ඡාවකදී, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සවිස්තරාත්මකව දැනුවත් කරන ලදි.

කොරෝනා වෛරස් තර්ජනයට එරෙහිව ශ්‍රී ලංකාව ගත් උත්සාහය පිළිබඳව විදේශ දූත මණ්ඩල අටක ආරක්‍ෂක උපදේශකයින් පිරිසක් දැනුවත් කරමින් ලුතිනන් ජෙනරාල් සිල්වා මෙතෙක් ඉටුකළ ජාතික කාර්යයන්, වැළැක්වීමේ හා පූර්වාරක්‍ෂාව පිළිබඳ පියවර, නිරෝධායන ක්‍රියාපටිපාටි සහ නිරෝධායන මධ්‍යස්ථාන, ත්‍රිවිධ හමුදා සහ වෛද්‍ය නිලධාරීන්ගේ කාර්ය භාරය, පොකුරු පැතිරීම, ආසාදිත විදේශිකයන් සහ විදේශීය පිරිස් සහ ඉදිරි අභියෝග පිළිබඳ සාකච්ඡා කළේය.  

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදුන් සියලුම ජාත්‍යන්තර පාර්ශවයන්ට ලුතිනන් ජෙනරාල් සිල්වා සිය කෘතඥතාව පළ කළේය.  

මෙම අවස්ථාවට සහභාගී වූ විදේශ දුත පිරිස සඳහා බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු සයිඩ් එම් හකීම් (Cmde. Syed M. Hakim), ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ (Capt. Ashok Rao), ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිතන් කර්නල් ආර් එස් මිශ්රා (Lt. Col. R. S Mishra), ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් ගකු ෆකුරා (Capt. Gaku Fukaura), මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිතන් කර්නල් ස්මයිල් නසීර් (Lt. Col. Ismail Naseer), පාකිස්ථාන් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාද් අලි (Col. Sajjad Ali), රුසියානු සමුහාණ්ඩු තානාපති කාර්යාලයේ හමුදා, ගුවන් සහ නාවික උපදේශක කර්නල් ඩෙනිස් අයි. ස්කොඩා (Col. Denis I. Shkoda), ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිතන් කර්නල් ට්‍රැවිස් රේ කොක්ස් (Lt. Col. Travis Ray Cox), මහජන චීන සමුහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොං (Snr Col. Wan Dong) සහ ලුතිතන් කර්නල් චැං ක්වාන්ජින් (Lt. Col. Chang Qianjin)ඇතුලත් විය.