කිලිනොච්චි හා මුලතිව් සිසුන් සඳහා අධ්‍යාපනික ආධාර

පෙබරවාරි 13, 2019

පසුගිය දිනවල කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්ක වල ඇතිවූ ගංවතුර හේතුවෙන් ආපදාවට පත්වූ පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් බෙදාදීම පසුගියදා සිදුකරන ලදී.

ආරක්ෂක අමාත්‍යංශය, ආපදා කළමනාකරණ අමාත්‍යංශය සහ ඩයලොග් ආසියාටා සමාගම සමග එක්ව දියත් කරන ලද 'සෙනෙහෙ සියපත' ව්‍යාපෘතියෙහි 4 වැනි අදියර යටතේ, මුලතිව් මාන්කුලම් විද්‍යාලය, මුලතිව් පන්නන්කඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසල, මුලතිව් තිරුමුරුන්කණ්ඩි විද්‍යාලය සහ මුලතිව් නාටලිආරු දෙමළ විද්‍යාලය යන පාසල් වලට අයත් දරුවන් 423 දෙනෙකු සඳහා මෙම පාසල් උපකරණ බෙදාදීම පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා (පෙබරවාරි 07 හා 08) යන දෙදින එම පාසල් වල පවත්වන ලද උත්සව වලදී සිදුකරන ලදී.

කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා සිය දායකත්වය ලබාදෙන ලදී.

එම ප්‍රදේශ වලට මෑතකදී බලපැවැත්වුනු ගංවතුර හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු අඩපන වූ අතර එය නැවත නගාසිටුවීම සඳහා මෙසේ පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සිදුකරන ලදී.