හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධ කරුණාගේ ප්‍රකාශය පිළිබඳ විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නියෝග කරයි

ජුනි 22, 2020

යුද්ධය පැවති කාලයේ එල්ටීටීඊය සමඟ සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනියාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් විසින් කල ප්‍රකාශය පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතය.

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න කරුණාගේ ප්‍රකාශය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස රහස් පොලිසියට උපදෙස් දී ඇති අතර, එම ප්‍රකාශයෙදි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එක් රාත්‍රියකදී අලිමංකඩ කඳවුරේදී හමුදා සෙබළුන් 2000 ත් 3000 ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කළ බවයි.

නවිනින්වේලි හි පැවති රැස්වීමක් අමතමින් කරුණා, එල්ටීටීඊය සමඟ සිටියදී තමා අපරාධ කර ඇති බව කියා සිටියේය.

“මම එල්ටීටීඊයේ සාමාජිකයෙකු ලෙස සිටියදී, එක් රාත්‍රියකදී අලිමංකඩ කඳවුරේදී ශ්‍රී ලංකා යුද හමුදා භටයන් 2000 ත් 3000 ත් අතර ප්‍රමාණයක් මරා දැමුවෙමි. මම කිලිනොච්චි වල ඊටත් වැඩිපුර මැරුවා. එය නිසැකවම ශ්‍රී ලංකාවේ කොරොනා වෛරසය විසින් බිලිගත් ජීවිත සංඛ්‍යාවට වඩා ඉහළ අගයක් ගනී”. ඔහු පවසා ඇත.