‘ඉටුකම’ කොවිඩ් 19 අරමුදලේ ශේෂය රු.මිලියන 1,392 ඉක්මවයි

ජුනි 24, 2020

‘ඉටුකම’ කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය ඊයේ (ජුනි 23) වන විට රුපියල් මිලියන 1,392 ඉක්මවා ගොස් ඇත.

ජනාධිපති මාධ්‍ය අංශයට අනුව ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමඟ මේ වන විට එහි ශේෂය රුපියල් මිලියන 1,392,909,182.76 ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ හා ධාරිතා වර්ධන ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් සැලසීම කෙරෙහි ඉටුකම කොවිඩ් 19 අරමුදල ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි.

මේ වන විට රු. මිලියන 200 ක් PCR පරීක්ෂණ සඳහා වෙන් කර ඇති අතර, දැනටමත් රුපියල් මිලියන 6 ක් ඒ සඳහා නිදහස් කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

අරමුදල සදහා දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන්ද දායක වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

චෙක්පත්, විදුලි පණිවුඩ හුවමාරු මගින් හා  www.itukama.lk හරහා හෝ # 207 # අමතා අරමුදල වෙනුවෙන් මුදල් තැන්පතු සිදු කළ හැකිය.

වැඩි විස්තර සඳහා 0760700700/ 0112320880/ 0112354340  හෝ  0112424012. අමතන්න.