ත්‍රිවිධ හමුදා ශ්‍රමයෙන් ගොඩනැගෙන සඳහිරු සෑය

ජුනි 24, 2020

ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ ශ්‍රමයෙන් අනුරාධපුරයේ ඉදිකෙරෙන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 68% ක් පමණ නිම කොට ඇත.

උසින් අඩි 282 ක් ද විෂ්කම්භය අඩි 255 ක් ද වට ප්‍රමාණය අඩි 801 ක් ද වන සඳහිරු සෑය රුවන්වැලි මහ සෑ රදුන් හා ශ්‍රී මහා බෝධියට ආසන්නව ඉදිකෙරෙමින් පවතී.

හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සහ එවකට ආරක්‍ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපතිතුමන් වන ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්‍ෂක බලකායේ රණවිරුවන්ගේ පුර්ණ දායකත්වයෙන් වර්ෂ 2010 නොවැම්බර් 23 දින ආරම්භ කරන ලදි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහයෙන් සහ ආරක්‍ෂක ලේකම්  මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ පූර්ණ අධීක්ෂණය යටතේ සඳහිරු සෑ රදුන් ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇත.

මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ මේ සදහා ශ්‍රම  හා මුල්‍යමය දායකත්වය පුර්ණ වශයෙන්  ත්‍රිවිධ හමුදාව,පොලීසිය හා සිවිල් ආරක්‍ෂක බලකා සෙබළුන් විසින් සිදු කරන අතර රටේ දානපතියන් විසින් ද මුදල් පරිත්‍යාග ලබා  දී ඇති බවයි.

“දැනට මේ ස්ථුපයේ තුනෙන් දෙකක් වැඩ අවසන් කර තිබෙනවා.ඉදිරි වසර හෝ එක හමාර ඇතුලත මෙම ස්ථුපයේ සම්පුර්ණ වැඩ කටයුතු අවසන් කර අපේ රටේ ජනතාවට වැද පුද ගැනීමට හැකි තවත් ඵෙතිහාසික ස්ථුපයක් විදිහට අපි මෙය ගොඩනගනවා” යැයි පැවසු ඔහු වැඩිදුරත් සඳහන් කලේ මෙම ස්ථුපයද අනුරාධපුර අටමස්ථානයේ පිහිටවන බැවින් බෞද්ධ බැතිමතුන්ට පුද පුජා පැවැතිවීමට සුදුසු භූමියක් බවට නිසැකවම පත්වනු ඇති බවයි.   

212 වන බළසේනාවේ සේනාංකාධිපති වන බ්‍රිගේඩියර් අනිල් පීරිස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ සඳහිරු සෑය ව්‍යාපෘතිය සඳහා අමුද්‍රව්‍ය සපයන කර්මාන්ත ශාල කිහිපයක් තිබෙන බවත් ගඩොල් සැපයිම ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක‍ෂක බලකාය එක්ව සිදුකරන බවයි.
“ඇලයාපත්තුව, තන්තිරිමලය, බෝගොඩ, අම්පාර යන කර්මාන්තශාලා වලින්  යුද  හමුදාව හා  සිවිල් ආරක්‍ෂක බලකාය එක්ව ගඩොල් නිශ්පාදනය කොට සඳහිරු සෑය වෙත ප්‍රවාහනය කරනු ලබනවා තවද ඇලයාපත්තුව කර්මාන්තශාලාවේදී අළුහුණු නිෂ්පාදනයද සිදු කරනවා. ගල්කඩවල ගඩොල් කර්මාන්ත ශාලාව නාවික හමුදාව විසින් ද බිංගිරිය සහ මහියංගනය ගඩොල් ව්‍යාපෘති ගුවන් හමුදාව මගින් සිදු කරනවා.” ඔහු පැවසීය.

මෙම අමු ද්‍රව්‍ය සපයන සියළු කර්මාන්ත ශාලා වලින් දිනකට ගඩොල් 14000 ක ප්‍රමාණයක් සඳහිරු සෑය සැපයෙන අතර මේ වන විට සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා ගඩොල් ලක්ෂ 167 ක ප්‍රමාණයක් යොදාගෙන ඇත. ඉතිරි ඉදිකිරීම් කටයුතු සදහා තවත් ගඩොල් ලක්ෂ 54 ක ප්‍රමාණයක් අවශ්‍යව ඇති බව බ්‍රිගේඩියර් පීරිස් වැඩිදුරටත් සදහන් කළේය.

“අතීතයේ මෙරට පාලනය කල දුටුගැමුණු, වළගම්බා වැනි ශ්‍රේෂ්ඨ රජවරුන් යුධ ජයග්‍රහණ වලින් පසුව සිය රට වැසියාගේ අධ්‍යාත්මික සුවය නංවාලීම පිණිස දාගැබ් ඉදිකර ඇති අතර එම සම්ප්‍රදායට ගරු කරමින් තිස් වසරක යුද්ධය අවසන් කිරීමෙන් පසු සඳහිරු සෑය ඉදීකිරිම ආරම්භ කීරීම ප්‍රශංසනීයයි” මිරිසවැටි විහාරාධිපති පුජ්‍ය ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමියන් මාධ්‍ය වෙත පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උපදේශකත්වය හා සහාය මත ශ්‍රී ලංකා යුද හමුදාවේ 09  වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අධීක්ෂණය මත  සඳහිරු සෑය ඉදිකිරීම් කටයුතු සිදු කරයි.