ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු හට නව නිවාස ඉදිකරදීම සඳහා විදෙස්ගත ද්‍රවිඩ යුවලක් සහාය වේ

පෙබරවාරි 17, 2019

ඕමානයේ පදිංචි ද්‍රවිඩ යුවලකගේ මුල්‍ය දායකත්වයෙන් ආබාධිත රණවිරුවන් දෙදෙනෙකු සඳහා නව නිවාස දෙකක් ඉදිකර දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය කටයුතු කර ඇති බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙසේ වාද්දුව සහ කෑගල්ල යන ප්‍රදේශ වල ඉදිකරන ලද මෙම නව නිවාස දෙක පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 12) ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානයේ පවතී උත්සවයකදී ඉංජිනේරු බලකායේ 1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු ඒකකයට අයත් රණවිරුවන් දෙදෙනා වෙත භාර දෙන ලදී.

වාර්ගික සංහිඳියාව මොනවට සංකේතවත් කරමින් මෝහනෂන්කර් මහතා සහ එම මහත්මිය විසින් රුපියල් මිලියන 2ක මුදලක් අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඉංජිනේරු රෙජිමේන්තු අධිපති මෙන්ම යාපනය ආරක්ෂක සේනා අඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙත බාරදී ඇත.

එමෙන්ම මෙම උත්සවයේදීම එම දානපති යුවල විසින් ආබාධිත සහ ආබාධිත නොවන රණවිරු පවුල්වලින් තෝරාගන්නා ලද පාසල් දරුවන් පිරිසකට රුපියල් 2500.00 බැගින් මාසික ශිෂ්‍යත්ව දීමනාවක්ද ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහ ජේෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.