ගුවන් හමුදා ඉතිහාසයේ විශාලතම ගුවන් යානා අංගනය රත්මලානට

ජුලි 02, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ විශාලතම ගුවන් යානා අංගනය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ගේ ප්‍රධානත්වයෙන් ජුලි මස 01  දින රත්මලාන ගුවන් හමුදා කදවුරේදී  විවෘත කෙරිණි.

මෙලෙස ඉදිකෙරුණු ගුවන් යානා අංගනය ගුවන් හමුදාවේ අංක 6 වන බලඝණයේ 61 බලපන්තියේ හෙලිකොප්ටර්  සහ හෙලිටුවර්ස්  ගුවන් යනා නඩත්තු කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතය.2019 වසරේ ඉඩම් හා යටිතල පහසුකම් ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමට භාර දීමෙන් පසු රත්මලාන ගුවන් යානා බලඝන වල යටිතල පහසුකම් ඉදිකිරිම සඳහා අරමුදල් ලැබී  ඇත.

මෙම සුවිසල් අංගනයේ,  ගුවන් යානා නඩත්තු  කටයුතු කිරීම් සඳහා වර්ග අඩි  43,777 ක ඉඩ ප්‍රමාණයක් තිබෙන අතර පරිපාලන හා  සේවා කටයුතු සඳහා  දෙමහල් ගොඩනැගිල්ලකින්ද සමන්විත වේ.  මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදාපතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ   රත්මලාන කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සම්පත් වික්‍රමරත්නගේ සම්න්ධිකරණයෙන් සිදුවිණි.

මෙම අවස්ථාව  සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.