‘සයුරළ’ නෞකාව අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වේ

පෙබරවාරි 18, 2019

පකිස්ථානයේ කරච්චි නුවරදී රටවල් 44 කගේ නාවික නෞකාවල සහභාගිත්වයෙන් පැවතී ‘අමාන්’ (AMAN 2019) නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය. පකිස්ථානු නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසය මෙවර 2019 පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පවත්වන ලදී.

6 වන වරටත් පවත්වන ලද මෙම අභ්‍යාසය මගින් කලාපීය සහයෝගිතාව සහ ස්ථාවරත්වය, අන්න්‍යෝන්‍ය අවබෝධය සහ සහභාගීත්වය, සාගර ආරක්ෂක මෙහෙයුම් සහ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ආදි වූ අභ්‍යාස රැසක් සිදුකර ඇති අතර, මෙම අභ්‍යාසය 2007 වසරේදී පළමු වරට පවත්වන ලදී.

ඒ අනුව "සයුරල" නෞකාව තොරතුරු හුවමාරුකර ගැනීම, නාවික කටයුතු සඳහා පොදු අවශ්‍යතාවයන් හඳුනාගැනීම, සාගර ආරක්ෂක මෙහෙයුම්, සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සහ මානුෂීය ආධාර මෙහෙයුම් ආදි වූ සියලු අභ්‍යාස ඉතා සාර්ථකව නිමා කරන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ එළඹෙන 28 වන දින දිවයිනට ලඟා වීමට නියමිතය.