මුහුණු ආවරණ නොපළදින පුද්ගලයින් සොයා පොලිස් නිලධාරීන් 2,000 කට අධික සංඛ්‍යාවක්

ජුලි 03, 2020

 •    මුහුණු ආවරණ නොපැළදු පුද්ගලයින් 2,731 ක් නිරෝධායනයට   
 
මුහුණු ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 2,000 කට අධික පිරිසක් බස්නාහිර පළාතේ පොදු ස්ථානවල යොදවා ඇත.

 සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ රජය විසින් කොරොනා  වෛරසය  පැතිරීම වැළැක්වීම සඳහා  අනිවාර්ය කර ඇති මුහුණු ආවරණ පැළඳීම නොසලකා හරින පුද්ගලයින්ට  එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය තීරණය කර ඇති බව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

මුහුණු ආවරණ නොමැතිව පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයින් ළඟම ඇති පොලිස් ස්ථානවල නිරීක්ෂණ යටතේ දින 14 ක ස්වයං නිරෝධායනයක් සඳහා ඔවුන්ගේ නිවෙස්වලට යොමු කරන බව ඔහු defence.lk වෙත පැවසීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පොලීසිය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මුහුණු ආවරණ නොමැතිව ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින් 2,730 කට අධික සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයකට ලක් කරන ලෙසට උපදෙස් දී ඇති බවත් තෙන්නකෝන් පැවසීය.

“වෛරසය පැතිරීමේ අවදානමක් ඇති කරමින් මහජනතාව මුහුණු ආවරණ පැළඳ නොසිටින බවට බොහෝ පැමිණිලි ලැබීමෙන් පසු වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝග නිකුත් කර තිබේනවා.” ඔහු තවදුරටත් පැවසුවේය.

මුහුණු ආවරණ භාවිතය යොදාගෙන කරනු ලැබූ  නීති විරෝධී ක්‍රියා පිළිබඳව වාර්තා වී ඇත්දැයි විමසූ විට, තෙන්නකෝන් පැවසුවේ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බවත් එවැනි උත්සාහයක් සඳහා යමෙකු හසු වුවහොත් පවත්නා නීතිය යටතේ ඔවුන්ට  දඩුවම් කරන බවයි.