ආරක්ෂක ලේකම් ජාතික ආරක්ෂක විද්‍යාලයේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණය කරයි

ජුලි 03, 2020

ජාතික ආරක්ෂක විද්‍යාලයේ අධ්‍යයන වැඩසටහන් ආරම්භ කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද දින  (ජුලි 03) එම විද්‍යාලයේ  නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

ජාතික ආරක්ෂක විද්‍යාලය වෙත ගිය මේජර් ජෙනරාල් ගුණරත්න එහි ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රගතිය පිළිබඳව ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අමල් කරුණාසේකර, ගුවන් හමුදාධිපති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සමග සාකච්ඡා කරන ලදී.

ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ සැලැස්ම සමාලෝචනය කළ ඔහු පවතින සම්පත් උපයෝගී කර ගනිමින් එම වැඩ කටයුතු කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ වසරේ අධ්‍යයන වැඩසටහන් ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙසත්, වැඩි නිලධාරීන් සංඛ්‍යාවක් උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා යොමු කරන ලෙසත් ආරක්ෂක ලේකම් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

‘මුම්ටාස් මහල්’ ලෙස හදුන්වනු ලබන යෝජිත ජාතික ආරක්ෂක විද්‍යාල පරිශ්‍රය මෙයට පෙර කථානායකවරයාගේ නිල නිවසයි.