ආබාධිත සොල්දාදුවෙකු සඳහා ඉදිකරන ලද නිවස ආරක්ෂක ලේකම් විසින් එම සොල්දාදුවා වෙත භාර දෙයි

ජුලි 04, 2020

කුරුණෑගල ගොකරැල්ල ප්‍රදේශයේ ආබාධිත සොල්දාදුවෙකු වෙනුවෙන්  ඉදිකරන ලද නිවසක් අද දින (ජුලි 04) ආරක්ෂක ලේකම් විසින් එම ආබාධිත සොල්දාදුවා වෙත භාර දෙන ලදි.

48 හැවිරිදි කෝප්‍රල් මහින්ද එදිරිසුරිය සිය නව නිවසේ යතුර මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙතින්  ලබා ගන්නා ලදී.

නිවසේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කර ඇත.

එදිරිසූරිය 1990 වර්ෂයේ සිට 1992 වර්ෂය දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවය කර ඇත. 1992 වර්ෂයේදී ත්‍රිකුණාමලය, පාලම්පට්ටර් ප්‍රදේශයේදී පුද්ගල නාශක බිම්බෝම්බයකට හසුව ඔහු හට බරපතල තුවාල සිදුවී ඇත. එම සිදුවීමේදී ඔහුගේ දෙඅත් සහ පෙනීම අහිමිව ගොස් ඇත.

මෙම අවස්ථාවට හිටපු යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා සහ රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර යන අය  සහභාගී වූහ.