හෙට සිට නැව් තුල ජනනය වන අපද්‍රව්‍ය ඉවත් කිරීම MEPA මගින් නිරීක්‍ෂණයට

ජුලි 06, 2020
  •  ශ්‍රී ලංකාවේ වාර්ෂික නැව් තුල ජනනය වන අපද්‍රව්‍ය ඉවත් කිරීම මගින් එකතුවන තෙල් ප්‍රමාණය ඝන මීටර් 26,904 කි.
 

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පොලීසිය සමග එක්ව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය (MEPA) හෙට සිට රට තුළ නැව් තුල ජනනය වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලිය පරීක්‍ෂා කිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ උපදෙස් මත සහ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ සහාය ඇතිව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය විසින් මෙම විශේෂ වැඩසටහන දියත් කර තිබේ.  

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට අනුව මෙරට බලපත්‍රලත් අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවා සපයන්නන් 28කට අධික සංඛ්‍යාවක් ඇත. රට තුළ වාර්ෂිකව සාමාන්‍යයෙන් ඉවතලන තෙල් අපද්‍රව්‍ය ප්‍රමාණය ඝන මීටර 26,904 ක් වන අතර ලැයිස්තුගත සමාගම් විසින් එකතු කරගනු ලබන කසළ ප්‍රමාණය ඝන මීටර් 7404 කි.  

ආරක්‍ෂක ලේකම්වරයා පැවසුවේ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවුනත්, මෙම අංශය වඩාත් ආදායම් උපයන අංශයක් බවට පත් කිරීමට ඵලදායී යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයට සම්බන්ධ කර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි.   

රටේ සාගර හා අනෙකුත් පාරිසරික කලාප දූෂණය නොකර ඕනෑම හානිකර ද්‍රව්‍යයක් හෝ වෙනත් දූෂිත ද්‍රව්‍යයක් සඳහා ප්‍රමාණවත් හා ඵලදායී ප්‍රතිග්‍රහන පහසුකම් සැපයීම සඳහා අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රතිව්‍යුහගත කිරීමට ජනාධිපති රාජපක්‍ෂ නියෝග ලබා දී ඇතැයි ඔහු පැවසීය.  

“පවත්නා ක්‍රමයේ යම් අඩුපාඩුකම් ඇති බව රජයට හැඟී යන බැවින්, එම ක්‍රියාවලිය අධීක්‍ෂණය කරන ලෙස ජනාධිපති රාජපක්‍ෂ මට උපදෙස් දුන්නා. බොහෝ රටවල, ඔවුන්ගේ වරායට පැමිණෙන නැව් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මුදල් ගෙවන නමුත් ශ්‍රී ලංකාවේදී අපි නැව්වලට ගෙවන්නේ ඔවුන්ගේ නැව් අපද්‍රව්‍ය රට තුළට ගෙන ඒම සඳහා ය,” අද දින අමාත්‍යාංශයේ පැවති විශේෂ රැස්වීමකදී ඔහු මෙලෙස පැවසීය.  

මේජර් ජෙනරාල් ගුණරත්න පවසන පරිදි අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවා ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපාර බවට පරිවර්තනය කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පාර්ශවකරුවන්ට පහසුකම්, අධීක්‍ෂණය සහ සහාය ලබාදෙනු ඇත.   

කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ආරක්‍ෂක ලේකම්වරයා කැබිනට් අනුමැතිය තුලින් සහ සියලු පාර්ශවකරුවන් ඒකාබද්ධ උත්සාහයෙන් එම ඵලදායී ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය විධිමත් කරන ලෙස සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියට උපදෙස් දී ඇත.   

ශ්‍රී ලංකාවේ ඕනෑම වරායක් තුළ හෝ ඉන් පිටතදී අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවා ලබාගන්නා සියලුම ලැයිස්තුගත සමාගම්වල ක්‍රියාවලිය පරීක්‍ෂා කිරීම සඳහා සියලුම පාර්ශව කරුවන්ගේ ආයතන නියෝජනය කරන සාමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර සම්බන්ධීකරණය කරන ලෙස මේජර් ජෙනරාල් ගුණරත්න සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය හි සභාපති දර්ශනි ලහන්දපුරට උපදෙස් දී තිබේ.   

සියළුම ආයතන සඳහා කේන්ද්‍රගත වූ සමස්ත ක්‍රියාවලිය සඳහා නිසි සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ලහන්දපුර කියා සිටියේ මෙම අංශය වඩාත් ඵලදායී කිරීම සඳහා අපද්‍රව්‍ය ගබඩා කිරීම සහ බැහැර කරන ස්ථාන අධීක්‍ෂණය කිරීම සඳහා වේගවත් හා නිරන්තර ‍ක්‍ෂේත්‍ර  සහ ක්‍රියාවලි පරීක්‍ෂණ අත්‍යවශ්‍ය බවයි.   

සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියෙහි සාමාන්‍යාධිකාරී සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර විසින් දේශණයක් පවත්වමින් පාරිසරික අනතුරු සහ අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහන සේවා සම්බන්ධ ගැටළු පිළිබඳව සැසිවාරයේදී ඉස්මතු කරන ලදි.  

තෙල් සහිත ජලය ජල මාර්ගවලට කාන්දු වීම, පාරවල් දිගේ තෙල් කාන්දු වීම, අක්‍රමවත් අපද්‍රව්‍ය හැසිරවීම එනම් විවෘතව දහනය කිරීම හා තෙල් කාන්දු වීම හේතුවෙන් පාරිසරික උපද්‍රව ඇතිවීම මෙන්ම  අල්ලස්, දූෂණය, දේශපාලන හා පාතාල බලපෑම් නැව් තුල ජනනය වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රියාවලිය  අකාර්යක්‍ෂම වීමට හේතු වී ඇති බව ආචාර්ය කුමාර අනාවරණය කළේය.  

නැව් තුල ජනනය වන අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී ඉවතලන තෙල් භූමිතෙල් සමඟ මිශ්‍ර කිරීම සහ දේශීය වෙළඳ පොලේ විකිණීම වැනි අක්‍රමිකතා පිළිබඳවද ඔහු හෙළි කළේය.

මෙම සාකච්ඡාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. රවිප්‍රිය, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) සමන්ත විමලතුංග, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් හේමන්ත ජයසිංහ, පරිසර පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් සහභාගී වුහ.