වෙරළට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු නාවික හමුදාව ගැඹුරු මුහුදට මුදාහරී

ජුලි 07, 2020

කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයේ ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (ජුලි 06) නැවත ගැඹුරු මුහුදට මුදා හැර ඇත.

වඳවී ගෙන යමින් සිටින සත්ව විශේෂයක් ලෙස හදුනාගෙන ඇති ‘Rhincodon Typus’ විශේෂයට අයත් මෙම සත්වයා ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය ගේ උපදෙස් මත මුර සංචාරයේ යෙදී සිටි නාවික නෞකාවක ආධාරයෙන් ගැඹුරු මුහුදට මුදා හැර තිබේ.

ලෝකයේ විශාලතම සත්ව විශේෂයකට අයත් වන මෙම මිණිමුතු මෝරාගේ බර කිලෝ 9,000 ක් සහ දිග මීටර් 9 ක් පමණ වන බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික මුහුදු සම්මුති නීතියට අනුව මෙම මිණිමුතු මෝරුන් විශේෂය සංරක්ෂණය කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.