මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව අවශ්‍යව සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක පොලිසියට භාර වෙයි

ජුලි 07, 2020

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තකර සිටි නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධව අවශ්‍යව සිටි පොලිස් පරීක්ෂක වෙහෙරවත්ත කංකානමලාගේ  සමන් වසන්ත කුමාර අද (ජූලි 07) උදෑසන කඩවත පොලිසියට භාර වී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු කාර්යාංශයේ භාරයට ගත් මත්ද්‍රව්‍ය ඉන් පිට කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා මෙම සැකකරු අවශ්‍යව තිබී ඇත.

මීට පෙර, සැගවී  සිටි 49 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා  මහජන සහායද  ඉල්ලා සිටියේය.

මත්ද්‍රව්‍ය තොගයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවිකර ඇති මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 11 දෙනෙකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ජූලි 02 වන දින අත්අඩංගුවට ගනු ලැබීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරුන් දෙදෙනෙකු සහ එක් කොස්තාපල්වරයෙකු ඇතුළු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව් දෙනෙකු පිලිබඳව සිදු කල පරීක්ෂණවලින් අනතුරුව මෙම නිලධාරීන්ද හඳුනාගෙන තිබේ.