කොරෝනා වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා සියලුම බන්ධනාගාර අමුත්තන් සදහා වසා ඇත

ජුලි 08, 2020
  • වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් 316 දෙනෙකු PCR පරීක්ෂණවලට භාජනය කෙරේ.
  • නැවත දැනුම් දෙන තුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුව දිවයින පුරා පිහිටි බන්ධනාගාර වලට පිටස්තරයින් ඇතුළු වීම නවතා ඇත.

එක් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව ඊයේ (ජුලි 07) තහවුරු වීමත් සමඟ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් 316 දෙනෙකු PCR පරීක්ෂණවලට භාජනය කර තිබේ.

 “මෙතෙක් සිදු කරන ලද PCR පරීක්ෂණවලින් 210 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව වාර්තා වී ඇති අතර ඉතිරි පරීක්ෂණ ප්‍රතිඵල අද සවස ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා” බන්ධනාගාර දෙපාර්තමේන්තු කොමසාරිස් (පරිපාලන) සහ ප්‍රකාශක චන්දන ඒකනායක පැවසීය.

ඒකනායකට අනුව, ආසාදිත රැඳවියා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ රැඳවියන් 186 දෙනෙකු PCR පරීක්ෂණවලින් පසු ඊයේ රාත්‍රියේ පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරවා ඇත.

වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්ත බන්ධනාගාර නිලධාරීන් හත් දෙනෙකු ද නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරවා තිබේ.

මේ අතර, කොරොනා වෛරසය පැතිරීම අවම කිරීම සඳහා නැවත දැනුම් දෙන තුරු බන්ධනාගාර දෙපාර්තමේන්තුව සියළුම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම නතර කර ඇත.

වෛරසය ආසාදිත බව තහවුරු වූ රැඳවියා වැලිකඩ  බන්ධනාගාරයේ සිට  කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇත.