තාරුණ්‍යයට යහපත් හෙටක් ගොඩනැඟීමේ දී මතුව ඇති සියලු අභියෝග ජය ගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කරන බව ජනපති පවසයි.

පෙබරවාරි 11, 2019

තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන “ස්මාර්ට් ශ‍්‍රී ලංකා“ වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ඇරඹේ

තාරුණ්‍යයට යහපත් හෙටක් ගොඩනැඟීමේ දී මතුව ඇති සියලු අභියෝග ජය ගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වෘත්තීය මාර්ගෝපදේශන ජාතික වැඩසටහනේ පළමු මධ්‍යස්ථානය අද (08) පොළොන්නරුවේ දී විවෘත කරමිනි.

ශ‍්‍රී ලංකාවේ විරැකියා ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබාදෙමින් සියලු රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන ඒකරාශි කොට දියුණු තාක්ෂණික ක‍්‍රමවේදයක් ඔස්සේ ව්‍යවසායකයන් බිහිකිරීම හා රැකියා පිරිනැමීමේ අරමුණ පෙරදැරිව ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය ජනාධිපති කාර්යාලයේ ස්මාර්ට් ශ‍්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක කෙරේ. තරුණ තරුණියන්ට තමන් තෝරාගත් වෘත්තීය මාර්ගයක සාර්ථක ගමනකට අවස්ථාවක් සලසාදීම, ව්‍යවසායකත්ව අවස්ථා, රැකියා බැංකු ඇතුළු ජාලගත වෘත්තීය තොරතුරු සේවාවක් සැපයීම, පෞද්ගලිකවම වෘත්තීය මාර්ගෝපදේශකයන් හමුවීමට අවස්ථාව, වෘත්තීය මාර්ගෝපදේශන සේවාව ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම, රට පුරා පැතිරුණු වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලයක් ගොඩනැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මුල්කරගත් තිරසර සංවර්ධන වැඩසටහන සහ තිරසර ජීවනෝපාය මාර්ග සංවර්ධනය වෙත තරුණ්‍යය යොමු කිරීම ද, තරුණ පරපුර අතරින් විරැකියාව තුරන් කිරීම, ස්වභාවික සම්පත් නිසි කළමනාකරණයකින් යුතුව භාවිතා කළ හැකි නව කර්මාන්ත හා ආයෝජන ඔවුන් වෙත හඳුන්වාදීම වැනි ගෝලීය ඉලක්ක ද මේ මගින් සපුරා ගැනේ.

තම සුදුසුකමට රැකියාවක් සොයාගන්නේ කොතැනින් ද යන ප‍්‍රශ්නයට පිළිතුරු ලබාගැනීමට තරුණ තරුණයන්ට මින් ඉදිරියට ඇති ප‍්‍රධාන ආයතනයක් බවට ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය පත්වන අතර රැකියා ඉල්ලමින් දේශපාලනඥයන් පසුපස යා යුතු යුගය ද ඉන් අවසන් කෙරේ.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මේ රට ගොඩනැගීමට තිබෙන ප‍්‍රබල අභියෝග අතර එක් කරුණක් වන්නේ ආකල්පමය වෙනසකට සහ අවදානම් භාරගැනීමට තරුණ පරපුර සූදානම් නොවීම බවයි.එම අභියෝගය ජය ගැනීමට මෙම නව ව්‍යාපෘතිය මහඟු අත්වැලක් වනු ඇති බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිතුමා ඉදිරි මාස 03 ක් තුළ මෙම වෘත්තීය මාර්ගෝපදේශන ආයතන සෑම දිස්ති‍්‍රක්කයකම විවෘත කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.

සමරු ඵලකය නිරාවරණය කර වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

නිමල් සිරිපාල ද සිල්වා. මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, රවින්ද්‍ර සමරවීර, ඉසුර දේවප‍්‍රිය, ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, හිටපු අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ද, උතුරු මැද පළාත් ආණ්ඩුකර සරත් ඒකනායක මහතා ඇතුළු ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරින් ද, තරුණ තරුණියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය