වැල්ලවාය ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා දෙහි පැළ සිටුවීමට පියවර

ජුලි 09, 2020

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අලි මිනිස් ගැටුම් නිසා හානියට පත් ප්‍රදේශවල වන අලි තර්ජන අවම කිරීම සඳහා නව සංකල්පයක් ලෙස දෙහි පැළ සිටුවීම ආරම්භ කරයි. වන අලි ගමන් ගන්නා මාර්ගවල රෝපණය කිරීම සඳහා හඳපානාගල වෙසෙන කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර දෙහි පැළ 100,000 කට අධික ප්‍රමාණයක් බෙදා දී ඇත.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්ගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. 

“දිගු කලක පටන් පවතින මෙම ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ වන විට දෙහි පැළ තවාන් නඩත්තු කරනු ලබන්නේ වැසි සමය ආරම්භයත් සමඟ පැළ සිටුවීමේ ක්‍රියාවලිය මහා පරිමාණයෙන් ආරම්භ කිරීමටයි,” රියර් අද්මිරාල් පීරිස් පැවසීය.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දුන් රියර් අද්මිරාල් පීරිස්, ගම්මානවලට සිදුවන වන අලි ආක්‍රමණ වළක්වා ගැනීමට වේදනාකාරී තියුණු කටු වලින් පිරුණු දෙහි පඳුරු හොඳම විසඳුමක් වන අතර එමඟින් වන අලි ආක්‍රමණ වළක්වා ගත හැකිවන බව පැවසීය.

එම ප්‍රදේශයේ අලි පහරදීම් සඳහා වඩාත් අවධානමට ලක්විය හැකි මිනිස් ජනාවාසයක් වන හඳපානාගල  මෙම නව ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන්නේ මොණරාගල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කුමාර ජාගොඩ විසිනි. “නුදුරු අනාගතයේ දී අවධානමට ලක්විය හැකි සියලු ප්‍රදේශ සඳහා ස්ථිර විසඳුමක් ලෙස අපි මෙම ව්‍යාපෘතිය හඳුන්වා දෙනවා” යැයි ඔහු පැවසීය.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශයට අනුව, වාර්ෂිකව අලි මරණ 250 ත් 300 ත් අතර සංඛ්‍යාවක් සහ මිනිස් මරණ 100 ත් 125 ත් අතර ප්‍රමාණයක් දිවයිනේ වාර්තා වේ.

වන අලි තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශ ලෙස පොළොන්නරුව , මොණරාගල සහ වැල්ලවාය යන ප්‍රදේශ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබේ.