යුද්ධ හමුදා සුබසාධන වැඩසටහන් මගින් උතුරේ අඩු ආදායම්ලාභී පවුල් සහ ආබාධිත අයවලුන් සඳහා පහසුකම් සලසයි

පෙබරවාරි 21, 2019

යාපනය අර්ධද්වීපයේ ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කරනලද සුබසාධන වැඩසටහනක් තුලින් ඔවුන් සඳහා අවශ්‍ය වැසිකිළි පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන දානපතියන් පිරිසකගේ සහයෝගයෙන් නව වැසිකිලි 27 ක් ඉදිකර ඇති බව යුද හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය වෛද්‍ය උමා නටරාජා ගේ සහාය ඇතිව යාපනයේ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලදී. මෙම ව්‍යාපෘතිය අවසන් ඉරීම සනිටුහන් කරමින් යාපනය වැල්වැටිතුරෙයි කලෙයිවානි ප්‍රජා ශාලාවේ දී චාම් උත්සවයක් පවත්වන ලදී. එහිදී මෙම ප්‍රජා ශාලාව සඳහා පුටු 50 ක්ද පරිත්‍යාග කරන ලදි.

මේ අතර, වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් විසින් ප්‍රදේශයේ ජීවත් වන ආබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු සහ ඇවිදීමේ උපකරණ පරිත්‍යාග කිරීම සඳහා පහසුකම් සලසා ඇත. මෙම වැඩසටහන වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කර ඇති අතර ක්‍රිස්ටල් මාටින් ගාමන්ට්ස් පුත්ගලික සමාගම පුර්ණ අනුග්‍රහය දක්වා ඇත.

මෙහිදී ආබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු 12 ක් සහ ඇවිදීමේ උපකරණ 10 ක් පරිත්‍යාග කරන ලදී. මෙම උත්සවය වන්නි ආරක්ෂක සේනා මුලස්ඨාන ශ්‍රවනාගාරයේ දී පසුගිය අඟහරුවාදා (පෙබරවාරි 19) දින පවත්වන ලදී.

තවද, පසුගිය සිකුරාදා (පෙබරවාරි 15) දින කිලිනොච්චිය තම්පිරාසා විද්‍යාලයේ පැවතී වැඩසටහනක දී ගංවතුරින් විපතට පත් සිසුන් 55 දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබා දී ඇත. ඊට අමතරව මෙම විද්‍යාලයට පරිගණකයක්, විදුලි වතුර පොම්පයක් සහ බාල්දි ද ලබාදෙන ලදී. මෙම සමාජ සුබසාධන ව්‍යාපෘතිය කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද අතර ‘මනුසත් දෙරණ’ පුර්ණ දායකත්වය ලබාදී ඇත.