අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ජෙනරාල් වැඩබලන පොලිස්පතිගෙන් ඉල්ලා සිටී

ජුලි 11, 2020

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂක ජෙනරාල් නාලක කලුවැව වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, මාධ්‍යවේදියෙකුට උසාවියෙන් පිටතදී බාධා කිරීම සම්බන්ධයෙන් පූර්ණ හා අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඊයේ දින ඉල්ලා තිබේ.  

මව්බිම පුවත්පතේ ඡායාරූප ශිල්පියෙකු වන අකිල ජයවර්ධනගේ රාජකාරියට පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව විසින් ඊයේ අධිකරණයෙන් පිටතදී බාධා කල බවට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක ඔහු සඳහන් කර තිබේ.   

ඊයේ අධිකරණ සංකීර්ණයේදී නඩු විභාගයකට සහභාගී වීම සඳහා පැමිණි රංගජීව විසින් ජයවර්ධනට බාධා කිරීම හා හිරිහැර කිරීමේ සිද්ධිය සියලු මාධ්‍ය විසින් වාර්තා කර ඇති බව කලුවැව සිය ලිපිය මගින් ප්‍රකාශ කර ඇත.  

මෙම ඡායාරූප ශිල්පියා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රජයේ නිල හැඳුනුම්පතක් සහිත අයෙකු බවද ඔහු පවසා තිබේ.  

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත් ඇති මාධ්‍යවේදීන්ට කිසිදු බාධාවකින් තොරව සිය රාජකාරි ඉටුකිරීමට අවස්ථාව ඇති බව කලුවැව ප්‍රකාශ කර ඇත.