ශ්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමිව ගුවන් හමුදා ප්‍රදර්ශනය හිඟුරක්ගොඩ දී

පෙබරවාරි 22, 2019

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 68 වන සංවත්සරය ලබන මාර්තු මස අභිමානවත්ව සැමරීමට නියමිතව ඇති අතර, එය ගුවන් හමුදා ප්‍රදර්ශනයක් හා ගුවන් සංදර්ශනයක් ද ඇතුළුව සිදුවීම් රැසක් සමඟින් පැවැත්වීමට නියමිත බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා දිනය මාර්තු 02 වන දිනට යෙදී ඇත.

ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සංදර්ශනය හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ දී පැවැත්වීමට නියමිතය. තවද මෙයට සමගාමිව "ගුවන් හමුදා පැපදි සවාරියා-2019" ද නොකඩවා 20 වන වරටත් පවත්වනු ලැබේ.

මෙවර ගුවන් හමුදා දිනයට සමගාමිව අංක 7 හෙලිකොප්ටර් බලඝණය හා අංක 8 සැහැල්ලු ප්‍රවාහණ බලඝණය, ඔවුන් විසින් ජාතියට සිදුකල විශිෂ්ට සේවාව අගයමින් ජනාධිපති වර්ණයෙන් පිදුම් ලැබීමට නියමිතය.

ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය මාර්තු මස 02 වන දින සිට 06 වනදා දක්වා පැවැත්වීමට නියමිත අතර මෙම කාල පරිච්ඡේදය තුළ ගුවන් යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන ඇතුළු විවිධ වැඩසටහන් රාශියක් පැවැත්වීමට නියමිතය. මෙම සැණකෙළිය මහජනතාවට විවෘත වන අතර අතුලුවුම සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකෙරේ.සමාරම්භක දිනයේ හැර අනෙක් දිනවල මෙම සැණකෙළිය ප.ව. 2.00 ට ආරම්භ වේ. සමාරම්භක දිනයේ දී මෙම සංදර්ශනය සහ සැණකෙළිය පෙ.ව. 10.00 ට ආරම්භ වන අතර සාම දිනකම මධ්‍යම රාත්‍රිය දක්වා එය පැවත් වේ.

‘ගුවන් හමුදා පාපැදි සවාරිය -2019’ මාර්තු මස 01 වන දින කොළඹ ගුවන් හමුදා මූලස්ථානයෙන් ආරම්භ වීමට නියමිත අතර එය නුවර, අනුරාධපුර හා හබරණ හරහා කි.මී.414 ක් ආවරණය කරමින් පොළොන්නරුවෙන් අවසන් කිරීමට නියමිතය.