කොරෝනා වෛරසය ආසාදිත ධීවරයින් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැලැක්වීමට නාවික හමුදාව දැඩි අවධානයෙන්

ජුලි 12, 2020

වෙත්තලකර්නි, උඩුතුරෙයි ප්‍රදේශයෙන් ලද තොරතුරකට අනුව අතහැරදමා තිබු ඩිංගි බෝට්ටුවක තිබී රු. මිලියන 7.8 ක පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 52 ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රදේශයෙන් පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කාර්ය බලකාය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක් අද යාපනයේ සිදුකරන බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය මාස හය තුළ කේරළ ගංජා ටොන් තුනක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු defence.lk වෙත පැවසීය.  

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපදිමින් පසුගිය කාලයේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.  

මුහුදු මාර්ග හරහා රට තුළට ඇතුළුවන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා වන මෙහෙයුම් වැඩි කරමින් සිටින අතර, විවිධ ජාවාරම් කටයුතු සම්බන්ධයෙන් සහ කොරෝනා වෛරසය ආසාදිත ධීවරයින් උතුරු මුහුදෙන් මෙරටට ඇතුළුවීමට සිදුකරන උත්සාහයන් පිළිබදව නිරීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය නාවික බළඇණි යොදවා ඇත.