දිඹුලාගල ජනතාව වෙනුවෙන් නාවික හමුදාවෙන් ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක්

ජුලි 14, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය ප්‍රජා සුභසාධනය අරමුණ කරගත් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යමින්  දිඹුලාගල, කැකුළුවෙල ප්‍රදේශයේ ජල හිඟයෙන් පෙළෙන ගම්වාසින් වෙනුවෙන් තවත් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඊයේ (ජුලි 13) ජනතා අයිතියට පත් කර තිබේ.

මෙලෙස ස්ථාපනය කරන ලද නව ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් දිඹුලාගල ප්‍රදේශයේ කැකුළුවෙල, මල්දෙණිය සහ කනිච්චිගල යන ගම්මානවල පදිංචිකරුවන් 1,575 කට වඩා වැඩි පිරිසකට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවනු ඇත.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැතිර ඇති මාරාන්තික වකුගඩු රෝගය වැළැක්වීම සඳහා සකස් කරන ලද ජාතික වැඩසටහනට දායක වීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ තාක්ෂණික විශේෂඥතාව සහ සිය ශ්‍රමය ලබා දී රට පුරා ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන 752 ක් ස්ථාපිත කර ඇත.

එම ගම්මානයේ සංවිධානය කර තිබු උත්සවයකදී ත්‍රිකුණාමලය දකුණ නාවික විධානය භාර නිලධාරි කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම විසින් ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කරන ලදි.

විවෘත කිරීමේ උත්සවය සදහා වෙහෙරගල මහවැලි කොට්ඨාස කළමණාකරු, කැකුළුවෙල විහාරස්ථානයේ විහාරාධිපති, ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්,නාවිකයින් ඇතුළු ප්‍රදේශ වාසීන් රැසක් සහභාගී වූහ.

Sinhala.