රියදුරු බලපත්‍ර මුද්‍රණය : යුද හමුදාවට

ජුලි 15, 2020

ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාර ගැනීමට නියමිතය.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්නගේ සහභාගීත්වයෙන් ඊයේ  (ජූලි 14 ) දින පැවති සාකච්ඡාවකින් පසු  මේ බව අනාවරණය විය.

මීට පෙර, ඩිජිටල් රියදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කිරීම සඳහා අධික මුදලක් ගෙවමින් රජය විසින්  රියදුරු බලපත්‍ර මුද්‍රණය විදේශීය පෞද්ගලික ආයතනයකට ලබා දී තිබුණි.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයට අනුව, කාඩ්පත් මුද්‍රණය කිරීමේ  ක්‍රියාවලිය දේශීයව සිදු කළ හැකිව තිබියදී එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා රු. 1,340 ක මුදලක් වැය කර තිබේ.

පැවති සාකච්ඡාවේදී අදහස් ප්‍රකාශ කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සඳහන් කර සිටියේ මෙම ක්‍රියාවලිය ආරම්භයේදී නව රියදුරු බලපත්‍ර කාඩ්පත් වඩා ලාභදායී ආකාරයකින් නිෂ්පාදනය කිරීමට හැකි වනු ඇති බවයි.

රුපියල් 1,340 ක මුදලකට රියදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කිරීම අපරාධයක් බවද ඔහු පැවසීය.