මැතිවරණ කොමිසම, නිරෝධායන වන පුද්ගලයින් සඳහා විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම පිළිබද සලකා බලයි

ජුලි 16, 2020

නිරෝධායන මධ්‍යස්ථානවල හෝ ස්වයං නිරෝධායනයක යෙදී සිටින පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන හෝ විශේෂ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමේ හැකියාව පිළිබද  මැතිවරණ කොමිසම සලකා බලයි.
 
මෙය විශේෂ අවස්ථාවක් බැවින් මැතිවරණ කොමිසම මේ පිළිබඳව නීතිමය අදහස් විමසන බව  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 
“ස්වයං නිරෝධායනය වන  පුද්ගලයින්  සිටිනු ඇතැයි අපි අපේක්ෂා කළේ නැහැ. ස්වයං නිරෝධායනය වන  පුද්ගලයින් වැඩිවෙමින් පවතින නිසා, එවැනි පුද්ගලයින්ට තම ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීම සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන හෝ විශේෂ ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට අපට සිදුවෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයට එහිදීම ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ලැබේනවා.” මැතිවරණ කොමිසමේ සභාපති තවදුරටත් පැවසීය.
 
සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් සමඟ මැතිවරණ ලේකම් කාර්යාලයේ ඊයේ පැවති රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු පැවසීය.
 
මැතිවරණ කොමිසම විසින් මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු විසදා ගැනීමට  සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ගැසට් කරන ලෙස මැතිවරණ කොමිසමේ  සභාපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.