නව නාවික හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුලි 16, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (ජූලි 16) අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

නාවික හමුදාපතිව සිටි අද්මිරාල් පියල් ද සිල්වා විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් උළුගේතැන්න බදාදා දින පත් කරන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් සහ නාවික හමුදාපති අතර සිහිවටන හුවමාරු කර ගනු ලැබීය.

වයිස් අද්මිරාල් උළුගේතැන්න, 1985 දී 13 වන බඳවාගැනීම් කණ්ඩායමේ ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳී ඇති අතර නාවික හා සාගරික විද්‍යාපීඨයේ මූලික පුහුණුව ලබා ඇත.

විශිෂ්ට සේවාව වෙනුවෙන් ඔහුට දෙවතාවක් රණශූර පදක්කමද, විශිෂ්ට සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම ද පිරිනමන ලදි.

නාවික හමුදාපති ලෙස පත්වීමට පෙර වයිස් අද්මිරාල් උලුගෙතැන්න 2019 මැයි 08 වන දින සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළේය .