අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක්

පෙබරවාරි 26, 2019

කිලිනොච්චි ජයපුරම් ප්‍රදේශයේ ජිවත්වන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරන ලද තවත් නිවසක් පසුගියදා එම පවුල වෙත භාරදීම සිදු කෙරුණු බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට අනුයුක්ත යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකල අතර ඒ සඳහා වන පුර්ණ මුල්‍ය අනුග්‍රහය තලගල ශ්‍රී සුමනරතන නා හිමියන්ගේ තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම වෙතින් ලබා දී ඇත.

රුපියල් 457,500.00 ක වියදමින් ඉදිකරන ලද මෙම නව නිවස හින්දු ආගමික සම්ප්‍රදායානුකුලව සෙනසුරාදා (පෙබරවාරි 16) දින පැවති උත්සවයක දී මෙහි හිමිකරු වන සාදිෂ්කරන් සරස්වතී මහත්මිය වෙත සංකේතාත්මකව භාර දෙන ලදී. මෙම උත්සවයේ දී ගෙදරට අවශ්‍ය ගෘහ භාණ්ඩ උපකරණ අඩංගු ත්‍යාග පාර්සලයක් ද ප්‍රතිලාභියා වෙත ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට ජේෂ්ඨ හමුදා නිලධාරීන්, නිවාස ලාභියාගේ පවුලේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගී වූහ.

මේ අතර කිළිනොච්චි දිස්ත්‍රික්ක රෝහලේ ලේ බැංකුව විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 70 කට අධික පිරිසක් පසුගියදා ලේ දන්දීමක් සිදුකරන ලදී