බාධාවකින් තොරව සන්නිවේදන කටයුතු සිදු කිරීම සඳහා Huawei වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධතියක්

ජුලි 20, 2020

Huawei Technologies Lanka Co. (Pvt) Ltd විසින් පිහිටුවන ලද නව සම්මන්ත්‍රණ පද්ධතිය මගින් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලීසිය ඇතුළු අමාත්‍යාංශය යටතේ ඇති බොහෝ අනුබද්ධ ආයතන අතර බාධාවකින් තොරව සන්නිවේදන කටයුතු කිරීමේ පහසුකම සැලසෙනු ඇත.

වීඩියෝ සම්මන්ත්‍රණ පද්ධතිය Huawei Technologies  හි ප්‍රධාන විධායක නිලධාරි ලියාං යී විසින් අද පෙරවරුවේ අමාත්‍යාංශයේ දී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ සම්මන්ත්‍රණ පද්ධතියක් ආරම්භ කිරීම දිගු කලක් තිස්සේ දැනුණු අවශ්‍යතාවයක් වන අතර එමගින් අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වන අනුබද්ධ ආයතන හා ප්‍රධාන පාර්ශවකරුවන් අතර කඩිනම් හා ඵලදායි තීරණ ගැනීමට හැකිවන බවයි.

Enterprise Business Group (Huawei Lanka) හි  උප සභාපති ඉන්දික ද සොයිසා පැවසුවේ ස්ථාපනය කරන ලද සම්මන්ත්‍රණ පද්ධතිය ආරක්ෂක අමාත්‍යාංශය විසින්ම නඩත්තු කර පවත්වා ගෙන යනු ඇති බවයි.

මෙම පද්ධතිය ස්ථාපනය, ආරම්භ කිරීම සහ ඊට අදාළ සහාය ලබා දෙන JIT 1996 සිට ක්‍රියාත්මක වන අතර ප්‍රමුඛ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පද්ධති සහ විසඳුම් ලබාදේ.

JIT හි ප්‍රධාන විධායක නිලධාරි ක්‍රිෂාන් මෙන්ඩිස්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ෂෙරීන් ගුණතිලක, විකුණුම් අංශ ප්‍රධානී දමිත ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ සම්බන්ධතා කළමනාකරු අස්මි කමල්දීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් , වැඩබලන පොලිස්පති සහ Huawei Technologies  Lanka හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී රිකාඩෝ ෂියාඕ සහභාගී වූහ.