කටුනායක හා රත්මලාන ගුවන්තොටුපලවල ගමන් මලු පරික්ෂා කිරීම නවතම තාක්ෂණයෙන්

ජුලි 21, 2020

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සහ රත්මලාන ගුවන්තොටුපලේ  ගමන් මලු පිරික්සීමේ පහසුකම්, නවීන තාක්‍ෂණය යොදා ගනිමින් වැඩි දියුණු කළ යුතු බව ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) පවසයි.

ඇමරිකානු ඩොලර් 331,220 ක් (රු.මිලියන 61) වටිනා අළුතින් මිලදී ගත් එක්ස් කිරණ යන්ත්‍ර පිළිබඳව ගුවන්තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජි.ඒ.චන්ද්‍රසිරි විසින් කරන ලද නිරීක්ෂණ  චාරිකාවකදී මේ බව අනාවරණය විය.

මෙම නව එක්ස්-රේ යන්ත්‍ර, වසර 19 කට වැඩි සේවා කාලයක් ඉක්මවා ඇති යල්පැනගිය ගමන් මලු පිරික්සුම් උපකරණ වෙනුවට ආදේශ කිරීමට නියමිතය.

යුරෝපීය සිවිල් ගුවන් සේවා සමුළුව (European Civil Aviation Conference), එක්සත් රාජධානියේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (Department for Transport UK ) සහ ඇමරිකා එක්සත් ජනපද ප්‍රවාහන ආරක්ෂක පරිපාලන (Transport Security Administration USA) සහ ජාතික ආරක්ෂක ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව එක්ස් කිරණ උපකරණ ඇතුළත් කර ඇත.

ගුවන්තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ උප සභාපති රජිවසිරි සූරියාරාච්චි, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ,ගුවන් සේවා සහ ආරක්ෂක රෙගුලාසි පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත සහ ගුවන්තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.