මුදල් වංචා කල සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

ජුලි 27, 2020

විදේස්ගත ශ්‍රමිකයන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් වංචා කළ සැකකරුවන් පස් දෙනෙකු කිරුළපන පොලිසිය විසින් ඊයේ (ජූලි 26) අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ ණය යෝජනා ක්‍රමයක් මගින් සහනදායී පොලී අනුපාතයක් යටතේ ණය ලබා දෙන බව පවසමින් දුරකථන මාර්ගයෙන් බැංකු ගිණුම් තොරතුරු ලබා ගැනීමෙන් පසු සැකකරුවන් විසින් රු. ලක්ෂ පහක මුදලක් බැංකු ගිණුමකින් වංචා කර තිබෙන බවට කාන්තාවක් විසින් කිරුළපන පොලිසියට පැමිණිලි කර ඇති බව පොලීසිය පැවසීය.

වයස අවුරුදු 30, 39 සහ 46 යන වයස්වල පසුවන පිටබැද්දර , වැල්ලම්පිටිය සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් වංචනික ලියකියවිලි සහ ව්‍යාජ රියදුරු බලපත්‍රද සකස් කර ඇති බව වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇත.

මෙම වැටලීමේදී සැකකරුවන් භාවිතා කළ මෝටර් රථයක් සහ වෑන් රථයක්, ලැප්ටොප් පරිඝනකයක්, බැංකු කාඩ්පත්, ලැමිනේටින් යන්ත්‍රයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණ කාඩ්පත්, ව්‍යාජ රියදුරු බලපත්‍ර, රබර් මුද්‍රා සහ ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අද කොළඹ අළුත්කඩේ අංක 3 ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.