කොරෝනා වෛරසය ආසාදිතව මවකට දාව උපත ලැබූ ළදරුවාට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බව තහවුරු වේ

අගෝස්තු 02, 2020

කොරෝනා වෛරසය ආසාදිතව මවකට දාව උපත ලැබූ බිළිදාට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බවට අද දින (අගෝස්තු 2) තහවුරු වූ බව මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න පැවසීය.

දරු ප්‍රසූතියෙන් පසු දරුවා සහ මව නිරෝගීව හා ආරක්‍ෂිතව සිටින බව වෛද්‍ය කරුණාරත්න defence.lk වෙත පැවසීය.

ඩුබායි හි සිට පැමිණි වෛරසය ආසාදිත ගර්භනී මව දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති නමුත් පසුව ඇය දරු ප්‍රසූතිය හා වැඩිදුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත මාරු කරනු ලැබීය.

වෛද්‍ය කරුණාරත්න පැවසුවේ කොරෝනා වෛරසය ආසාදිත මවක් ශ්‍රී ලංකාවේදී දරුවෙකු ප්‍රසූත කළ පළමු අවස්ථාව මෙය බවයි.