දැක්මෙන් පිරිපුන් නිහතමානී සෙන්පතියා

අගෝස්තු 08, 2020

 

ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් සිය නාමය සනිටුහන් කල මීට වසර 28 කට පෙර අද (අගෝස්තු 08) වැනි දිනක අප රටට අහිමි වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රේෂ්ඨ සෙන්පතියානන්ගේ  28 වන අනුස්මරණය අද දිනට යෙදී ඇත.

1940 වර්ෂයේ ජුලි මස උපන් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර ඔහු දක්ෂ හොකී සහ රග්බි ක්‍රීඩකයෙකි. ඔහු 1960 මැයි මාසයේදී  ශ්‍රී ලංකා යුද හමුදාවට එක් විය.

සිය මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු ඔහු එක්සත් රාජධානියේ සැන්ඩ්හර්ස්ට් බලා පිටත්ව ගියේ කීර්තිමත් රාජකීය හමුදා ඇකඩමියේ වැඩිදුර පුහුණුව ලබා ගැනීම සඳහා ය.

පසුව, මෙම මොහු  1962 අගෝස්තු 03 වන දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ  දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් කරන ලදී.

ලුතිනන් ජෙනරාල් කොබ්බෑකඩුව සිය කීර්තිමත් හමුදා සේවා කාලය තුළ යුද්ධය පැවති කාලවකවානුවලදී විවිධ මෙහෙයුම් සඳහා සාර්ථකව අණ දෙන ලදි. ඒ අතරින් වඩමාරච්චි   සහ බලවේගය මෙහෙයුම්  වඩාත් සාර්ථක මෙහෙයුම් වන අතර එම යුද පෙරමුණු වලදී   සතුරා දැඩි ලෙස අක්‍රීය කිරීමට සමත් විය.

යාපනය අර්ධද්වීපයේ බලය තහවුරු කිරීම සදහා සැලසුම් කරමින් තිබු  ‘Operation Final Countdown’ හි මූලික වැඩ කටයුතු අතරතුර, කයිට්ස් දූපතේදී  ඔවුන් ගමන් කරමින් සිටි ලෑන්ඩ් රෝවර් රථය බිම් බෝම්බයකට හසුවීමෙන් සිදු වුනු දරුණු තුවාල හේතුවෙන් ඔහු සහ  එම අවස්ථාවේ ඔහු සමග සිටි නිලධාරීන්ද දිවි පුදන ලදී.

වර්ෂ 1992 අගෝස්තු මස 08 දින යාපනය කයිට්ස් හි ආරාලි තුඩුවේ දී ඔහු සමග මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්.ආර්. ස්ටීවන්, ලුතිනන් කර්නල් ජී.එච් ආරියරත්න, ලුතිනන් කර්නල් වයි.එන් පලීපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලින් ද අල්විස්, ලුතිනන් කමාන්ඩර් සී.බී. විජේපුර සහ සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජී වික්‍රමසිංහ මෙම ඛේදවාචකයට මුහුණ දී තිබිණි.

 

 

යුධ පිටියේ සුවිශේෂී දස්කම් දැක්වූ මෙම අභීත රණවිරුවා රණ වික්‍රම පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණය, රණ ශූර පදක්කම (දෙවතාවක්), උත්තම සේවා පදක්කම සහ දේශපුත්‍ර සම්මානයෙන් පිදුම් ලැබුවෙකි.

මෙම ශ්‍රේෂ්ඨ නිලධාරියා දේශය වෙනුවෙන් දිවි පිදීමෙන් අනතුරුව ලුතිනන් ජෙනරාල් තනතුරට උසස් කරන ලදී.