රණවිරු සැමරුම් කොඩිය ජනාධිපතිතුමන්ට පළඳවයි

මාර්තු 06, 2019

රණවිරු සැමරුම් මාසය - 2019 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හට පැළඳවීමේ උත්සවය අඟහරුවාදා (මාර්තු 05) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.

මෙහිදී අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම අවස්ථාව එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වසර දහයක් ගතවීම හේතුවෙන් 2019 වර්ෂය ‘රණවිරු සැමරුම් වසර’ ලෙස ප්‍රකාශයට පත් කළේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.ජේ.පි.එස්.ටී ලියනගේ විසින් පළමු රණවිරු සැමරුම් කොඩිය ජනාධිපතිතුමන් වෙත පළඳවන ලදී. මෙම අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් ද සහභාගි වුහ.

මෙම රණවිරු සැමරුම් සමය අඟහරුවාද (මාර්තු 05) දින නිල වශයෙන් ආරම්භ වු අතර, එය 2019 ජූනි මස 05 වන දින දක්වා ක්‍රියාත්මක වනු ඇත.