නාවික හමුදාව පේදුරුතුඩුවට නුදුරු මුහුදේදී කේරළ ගංජා කිලෝ 275 ක් අත්අඩංගුවට ගනී

අගෝස්තු 12, 2020

යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී ඊයේ (11) දින සිදුකල විශේෂ වැටලීමකදී නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 275 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පේදුරු තුඩුවට උතුරෙන් නාවික සැතපුම් 22 ක් පමණ (කිලෝමීටර් 40 ක් පමණ) දුර මුහුදේ අතහැර ගොස් තිබූ ගෝනි මලු හයක (06) අසුරන ලද කේරළ ගංජා විශේෂ මෙහෙයුම් සඳහා යොදවා ඇති වේගවත් ප්‍රහාරක යාත්‍රාවක් මගින් සොයාගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා defence.lk වෙත පැවසුවේ, ජාවාරම්කරුවන්ගේ උත්සාහය නාවික හමුදාව විසින් ව්‍යර්ථ කල  බවත්, යාත්‍රාව ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියලු සැකකරුවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරගෙන යන බවත් ය.

අත්අඩංගුවට ගත් ගංජා තොගය වැඩිදුර පරීක්‍ෂණ සඳහා පේදුරුතුඩුව පොලිසියට භාරදී තිබේ.

නාවික හමුදා ප්‍රකාශක සනාථ කළේ සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම මෙහෙයුම නාවික හමුදාව  විසින් සිදුකර ඇති බවයි.