මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න නැවතත් ආරක්‍ෂක ලේකම් ලෙස පත් කරයි

අගෝස්තු 13, 2020

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමන් විසින් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස අද දින පත් කර තිබේ.

නව කැබිනට් මණ්ඩලයේ ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රාජපක්‍ෂ ජනාධිපතිතුමන් අද අමාත්‍යාංශ 25 ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබේ.

මේජර් ජෙනරාල් ගුණරත්න යුධමය කාලසීමාවේදී සුවිශේෂී සේවාවක් ඉටුකළ අභීත රණවිරුවෙකි. සිය යුද හමුදා සේවා කාලය තුල ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි හි ආඥාපති, 53 වන සේනාංකයේ සේනාංකාධිපති, විශේෂ බලකාය, ගජබා රෙජිමේන්තුව සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව යන රෙජිමේන්තුවල රෙජිමේන්තු අධිපති සහ යුද හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් වශයෙන් රාජකාරි කර ඇත.

ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ලෙසද සේවය කර ඇත.

2016 වර්ෂයේදී දී සක්‍රීය යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු එල්ටීටීඊයට එරෙහි යුද්ධය ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ලද වසර 35 ක අත්දැකීම් මත පදනම්ව ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ ඇතුළු ග්‍රන්ථයන් කිහිපයක්ද රචනා කර ඇත.

වර්තමානයේ ඔහු ආරක්‍ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ද වේ.

ඊට අමතරව, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය පිළිබඳ 11 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිවරයා ලෙසද මේජර් ජෙනරාල් ගුණරත්න කටයුතු කරයි.