රටේ සංවර්ධනය සඳහා ආරක්ෂාව තීරණාත්මක සහ ඉතා වැදගත් සාධකයක් - ආරක්ෂක ලේකම්

අගෝස්තු 15, 2020
  • ආරක්ෂක ගැටළු විසඳීම සඳහා බුද්ධි අංශ ප්‍රතිසංස්කරණය කර ශක්තිමත් කරන ලදී
  • බෙදුම්වාදී මතවාදයන්, අන්තවාදය සහ සංවිධානාත්මක අපරාධ ප්‍රධාන ආරක්ෂක අභියෝග වේ
  • බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අපරාධ අවම කිරීම සඳහා වැදගත් වේ

රටේ සංවර්ධනය සඳහා ජාතික ආරක්ෂාව ඉතා වැදගත් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

ඔහු පවසා සිටියේ ආරක්ෂාව සාක්ෂාත් නොකරන තාක් කල් රටකට දියුණුවක් හා සංවර්ධනයක් ලගා කර ගත නොහැකි බවයි.

රටට අවශ්‍ය සෘජු ආයෝජනයන් රට වෙත  ආකර්ෂණය කර ගැනීම සඳහා ජාතික ආරක්ෂාව ඉතා වැදගත් බව මේජර් ජෙනරාල් ගුණරත්න අවධාරණය කළේය.

ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව රටේ සංවර්ධනය පිළිබඳ දැක්මෙහි මූලික පියවර වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වන බව ඔහු පැවසීය.

ඊයේ දින (අගෝස්තු 14) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති  ‘හරිමඟ සංවිධානය’ විසින් සංවිධානය කරන ලද ‘පශ්චාත් COVID-19 පුනරුදය - ශ්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත සංවර්ධනය’ යන තේමාව යටතේ පැවති සැසිය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

2009 මැයි මාසයේදී බෙදුම්වාදය යුධමය වශයෙන් පරාජයට පත් වුවද, දෙමළ ඩයස්පෝරාවේ නිරන්තර අනුග්‍රහයෙන්  පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් සිදුකරන බෙදුම්වාදී මතවාදයන් පැතිරවීම තුරන් කළ යුතුය.

හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 12,242 ක් පුනරුත්ථාපනය කර සමාජගත කර තිබෙනවා. එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරාවේ ඊළාම්වාදයට සහයෝගය දක්වන පාර්ශවයන් විසින් ඔවුන්ගේ බෙදුම්වාදී අදහස් පැතිරවීම සඳහා ඔවුන් යොදා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ඔහු පැවසීය.

“වෙන කවරදාකටත් වඩා මේ රටේ බෙදුම්වාදයට ඉඩක් නොමැති බවට මම ඔබට සහතික වෙමි”, ඔහු පැවසීය.

2019 පාස්කු ඉරිදා දින බෝම්බ ප‍්‍රහාරය පිළිබදව සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ ඉදිරියේදී එල්ල වන ප‍්‍රහාරයක් පිළිබඳව 97 වතාවක් ආරක්ෂක ආයතනයන් විසින් පූර්ව අනතුරු ඇඟවීම් ලබා දුන්නද  වගකිවයුත්තන් එහි බරපතලකම පිළිබදව නොසලකා හැරීම නිසා සිදු වූ සංහාරය නිසා පුද්ගලයින් 290 කට වඩා වැඩි පිරිසක් මියයෑම සහ 500 දෙනෙකුට පමණ තුවාල සිදුවීම වැළැක්වීමට අපොහොසත් වී ඇති බවයි.

 “අපගේ බුද්ධි අංශවලට විශාල හානියක් සිදුකරමින් හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් සිරගත කොට හිරිහැරයට ලක් කරන ලද අතර එය අන්තවාදීන්ට ක්‍රියාත්මක වීමට මඟ පාදනු ලැබුවා”, ඔහු පැවසීය.

 “පසුගිය සතියේ අපි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.5 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඩෙටනේටර් 90 ක් පමණ මන්නාරමේදී අත්අඩංගුවට ගත්තා. මීට අමතරව ස්වයංක්‍රීය දුරස්ථ පාලක උපකරණ කිහිපයක් ද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ද එම සිදුවීම් නොසලකා හැරියේ නම්, මේ කිසිවක් සොයා ගැනීමට නොහැකි වනවා . මේ රටේ උතුරෙන් බෙදුම්වාදයට හෝ නැගෙනහිරින් අන්තවාදයට නැඟීසිටීමට කිසි දිනෙක ඉඩ තබන්නේ නැත”, මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

සිරගෙවල්වල සිට ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීම සඳහා ගෙන ඇති පියවරයන් පිළිබඳව එම අවස්ථාවේදී ආරක්ෂක ලේකම් පැහැදිලි කළේය.

“මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම සහ බන්ධනාගාර වල සිට  ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා නිවැරදි සැලසුම් සකස් කිරීම වෙනුවෙන් පළමුව අපි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය භාරව දක්ෂ නිලධාරීන් පත් කළෙමු.” ඔහු පැවසීය.

බන්ධනාගාරවල පවත්නා ක්‍රමයන් වෙනස් කිරීම සඳහා ගෙන ඇති පියවරයන් ඉස්මතු කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ නමගිය අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරගත කිරීම සඳහා දැඩි ආරක්ෂිත  බන්ධනාගාරයක් මේ වන විටත් ඉදිවෙමින් පවතින අතර, ජංගම දුරකථන ජෑමර් (Mobile Phone Jammers) මේ වන විට බූස්ස සහ අගුනකොළපැලැස්ස  බන්ධනාගාරවල ස්ථාපනය කර ඇති බවයි.

බන්ධනාගාර රැඳවියන්ගේ සුභසාධන ගැටළු විසඳීමට සහ බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට ද ගෙන ඇති  සැලසුම් පිළිබඳව ඔහු කරුණු දැක්වීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන පහසුකම් වැඩි කිරීමට අපි පියවර කිහිපයක් ගෙන තිබෙනවා. රැඳවියන් දහසකට වැඩි පිරිසකට නවාතැන් පහසුකම් සහිත නවීන පහසුකම් වලින් සමන්විත විශේෂ මධ්‍යස්ථානයක් දැන් නිට්ටඹුව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතී. වීරවිල ප්‍රදේශයේ රැඳවියන් 2,000 ක් සඳහා රැදවීම සදහා මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නියමිතයි”, ඔහු පැවසීය.

නීතිවිරෝධී වැලි ගොඩදැමීම මැඩපැවැත්වීම සහ විශේෂයෙන් බස්නාහිර පළාතේ නීති විරෝධී ලෙස සිදු වන ඉඩම් අනවසරයෙන් අත්පත්කර ගැනීම් අවම කිරීම සඳහා වන සැලසුම් ආරක්ෂක ලේකම් විසින් අවධාරණය කළේය.

මහජන පැමිණිලි විභාග කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

මෙම අවස්ථාව සදහා විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති  වරුණ ජයසුන්දර, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය, ‘හරිමග’ සංවිධානයේ  සභාපති කනිෂ්ක ද සිල්වා සහභාගී වුහ.