නාවික හමුදා මහ රෝහල වෙතින් රෝගීන් සඳහා ඖෂධ නිවෙස් වෙතට

අගෝස්තු 17, 2020

සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා ඔවුන්ගේ නිවෙස් වෙතටම අවශ්‍ය ‍ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙලක් නාවික හමුදාව විසින් අද දින සිට ක්‍රියාවට නංවා ඇත.

එහිදී  ක්‍රියාන්විතවලදී මියගිය හා අතුරුදහන් වූ නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින්, ආබාධිතව විශ්‍රාම ගන්වන ලද නාවිකයින් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්, දැනට සේවයේ නියුතුවුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම විශ්‍රාම ගොස් සිටින නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ කාලත්‍රයන් සඳහා ‍ඖෂධ බෙදාදීම සිදුකෙරේ.    

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සංකල්පයක් මත අද දින අරම්භ වූ මෙම වැඩසටහන යටතේ කොළඹ නාවික හමුදා මහ රෝහලේ සායනවලට සහභාගී වන පුද්ගලයින්ට අද සිට ඔවුන්ගේ නිවෙස් වෙතටම අවශ්‍ය ‍ඖෂධ පාර්සල් ලබාදෙනු ඇත.    

මෙම ක්‍රමවේදය යටතේ දීර්ඝ කාලීනව ප්‍රතිකාර නිර්දේශ කරනු ලබන දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, ඇදුම, නිදන්ගත වකුගඩු රෝග, ගර්භනී තත්ව, අක්‍ෂි, චර්ම, ස්නායු සහ මානසික රෝගීන් හට විශේෂ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඖෂධ බෙදාහැරීම සිදුකිරීමට නාවික හමුදා මහ රෝහල සැලසුම් කර ඇත.  

කොරෝනා වෛරසය හේතුවෙන් මීට පෙර (අප්‍රේල් 8) ඇඳිරි නීතිය පැනවූ කාලය තුලද නාවික හමුදාව විසින් මෙවැනිම පියවරක් ගත්තේය.   

එමඟින් නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල විශාල පිරිසකට ප්‍රතිලාභ ලැබුණි.