මත්ද්‍රව්‍ය වලට එරෙහි සටනට ත්‍රිවිධ හමුදාවන් සක්‍රියව දායක වෙයි

මාර්තු 08, 2019

නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ සටනේ ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ඇති මහත්ය. අතිගරු ජනාධිපතිතුමන්ගේ "මතින් තොර රටක්" යන සංකල්පය යටතේ මෙම අනතුරුදායක උවදුරෙන් රට මුදා ගැනීම අරමුණු කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මෑත කාලයේ විවිධාකාරයෙන් ප්‍රචලිත වෙමින් පවතින මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී කටයුතුවල යෙදෙන බොහෝ අයවලුන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

මේ සඳහා ත්‍රිවිධ හමුදාව ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන අතර මෙම ජාතික කටයුත්තේ දී ත්‍රිවිධ හමුදාව විසින් ජනාධිපති කාර්ය සාධක බලකාය, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සුරාබදු දෙපාර්තමේන්තුව හා අනෙකුත් අදාළ ආයතන සමඟ සමීපව කටයුතු කරමින් සිය උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරයි.

රට මුහුණ දී ඇති මෙම මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගැනීමට ත්‍රිවිධ හමුදාව සතු කාර්යභාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (මාර්තු 08) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුනරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්විණි. මෙම හමුව සඳහා යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරුන් සහභාගි වූහ. තවද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා මෙම මාධ්‍ය හමුවට එක්විය.

“රට රකින ජාතිය”ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, පොලිසියේ සහ වෙනත් අදාළ ආයතනවලට ඉල්ලීම මත මත්ද්‍රව්‍ය වැටලීම් කටයුතු සඳහා නිරතුරුවම ක්‍රියාකාරී සහයෝගය ලබා දී ඇත. තවද යුද්ධ හමුදාව විසින් ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් ස්වේච්ඡා මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද පවත්වනු ලබයි.

එමෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු දැවැන්ත බුද්ධි ජාලය මගින් රැස්කරගන්නා තොරතුරු අවශ්‍ය අයවලුන් සමග හුවමාරු කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා කටයුතු කරයි. තවද කන්ඩල්කාඩු හා සේනපුර යුද්ධ හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානවලදී මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් සඳහා වසරක පුනරුත්ථාපන පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීමටත් කැමැත්ත පළ කර ඇත.

මෑත වසරවල මුහුදු මාර්ග මගින් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒම වලක්වාලීම සඳහා නාවික හමුදාව විසින් දියත් කරන ලද මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම අනතුරුදායක මත්ද්‍රව්‍ය දිවයිනට පැමිණීම විශාල ලෙස අඩු වී ඇත. පසුගිය වසරේ පමණක් කේරල ගංජා කිලෝග්රෑම් 2100 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී ඇත. මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා කේරල ගංජා කිලෝ ග්රෑම් 680 ක් පමණ අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වී ඇත. මසුන් ඇල්ලීමේ කටයුතුවල යෙදීමේ මුවාවෙන් බොහෝ විට මත්ද්‍රව්‍ය විශාල වශයෙන් සංවිධානාත්මක ලෙස රට තුළට ගෙන එනු ලබයි.

මුහුදු මාර්ග මගින් දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන අනතුරුදායක මත්ද්‍රව්‍ය සහ ඒවා රැගෙන එන ජාවාරම් කරුවන් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා මුර සංචාරයන් හි නියුතු භටපිරිස් විසින් කටයුතු කර ඇත. 2017 වසරේදී පමණක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් 168 දෙනෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුගිය වසරේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ වසරේදී මේ වන විට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලැබුවන් 29 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙවැනි අන්තරායකාරී මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අවම කර ගැනීමේ අරමුණින් පාසල් හා පූජනීය ස්ථානවල නාවික හමුදාව විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත. නාවික හමුදා භටපිරිස් වෙත ලබාදෙන මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ දස දින විශේෂ පුහුණු වැඩසටහන මගින් විශාල ප්‍රතිපල අත්කරගෙන ඇත. මෙම විශේෂ පුහුණුව ලබාගැනීම සඳහා බොහෝ රටවල් උනන්දුවක් දක්වයි. බහරේනය පදනම් කරගත් ඒකාබද්ධ කාර්ය සාධක බළකාය විසින් දකුණු මුහුදු මාර්ගයේ කලාපීය සාගරවල දී සිදුකරනු ලබන වැටලීම්, මත්ද්‍රව්‍ය ජාවාරම වැලැක්වීම සඳහා අප රටට වැදගත් සාධකයක් බවට පත්වී ඇත.

ගංජා වගා කරන විශේෂිත කැලෑ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ගුවන් හමුදාව විසින් සිදුකරන විධිමත් විමර්ශන ගුවන් මෙහෙයුම් මගින් ලබාගන්නා තොරතුරු මත එම වගාවන් විනාශ කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට අවශ්‍ය සහයෝගය ද ලබාදෙනු ඇත. 2015 දී ආරම්භ කරන ලද මෙම මෙහෙයුම් සඳහා Y-12, Beechcraft සහ Bell 212 හෙලිකොප්ටර් භාවිතා කරනු ලබන අතර එමගින් ගොඩබිම සහ මුහුදු කලාපය තුල සිදුවන සැකසහිත ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම, ගංජා හේන් සහ වෙනත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව සේයාබලිම වැනි කටයුතු සිදුකරනු ලබයි. තවද ගුවන් හමුදාව සිය මෙහෙයුම් සඳහා ඩ්රෝන් යානා ද භාවිතා කරයි. පසුගිය වසර තුන තුළ ගුවන් හමුදාව විසින් ගුවන් පැය 750 ක් පමණ මෙම විමර්ශන කටයුතු සඳහා භාවිතා කර ඇත. මේ වසර තුල දැනටමත් පියාසර පැය 100 ක් පමණ මෙම මෙහෙයුම් සඳහා වැය කර ඇත. පසුගිය වසර දෙක තුළ ගුවන් මෙහෙයුම් මගින් ගංජා හේන් 199 ක් සොයා ගැනීමට ගුවන් හමුදාව සමත් වී ඇත. මෙම වසර තුල දැනටමත් ගංජා හේන් 40 ක් සොයාගෙන තිබේ.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා අනෙකුත් රාජ්‍ය ආයතන එක්ව සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීම සඳහා කරනු ලබන ඒකාබද්ධ ප්‍රයත්නයයේ යහපත් ප්‍රතිපල මේ වනවිට පෙන්නුම් කරයි. රටේ සහ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම සාම නීතිගරුක පුද්ගලයකුගේම වගකීම වේ. හානිදායක මත්ද්‍රව්‍ය තුලින් එල්ලවන තර්ජන මුලිනුපුටා දැමීම සඳහා ගනුලබන සමස්ත සාමූහික ප්‍රයත්නය තුලින් ජීවිත බේරාගැනීම සහ සමාජ ව්‍යුහය ශක්තිමත් කිරීම පමණක් නොව ජාතික අභියෝගවලට මුහුණදීම හා ජාතියක් ලෙස නැගී සිටීම පිළිබඳව සෙසු ලෝකයට ධනාත්මක පණිවුඩයක් ලබාදෙනු ඇත.