උතුරු හා නැගෙනහිර ජනතාවගේ ජිවන තත්ත්වය නංවාලීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ප්‍රජා සත්කාරක වැඩසටහන් රාශියක්

මාර්තු 13, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තම ප්‍රජා සත්කාරක වැඩසටහන් තවදුරටත් ව්‍යාප්ත කරමින් නැගෙනහිර පළාතේ අඩු ආදයම්ලාභි පවුලක් සඳහා නව නිවසක් ඉදි කිරීමට අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී. යුද්ධ හමුදා භටපිරිස් විසින් තඹලගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම නිවාස සඳහා මුල්‍ය අනුග්‍රහය තලගල ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තලගල සුමනරතන ස්වාමින් වහන්සේ විසින් ලබාදෙන ලදී.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.එන්.එම්. වීරසිංහ විසින් මෙම නව නිවස පසුගිය සිකුරාදා (මාර්තු 08) දින පැවැති චාම් උත්සවයකදී නිවාසලාභින් වෙත සංකේතාත්මකව භාරදෙන ලදී.

මේ අතර, කිළිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් සඳහා ඇස් කන්නාඩි බෙදාදීමේ ව්‍යාපෘතියක් සංවිධානය කරන ලදී. පසුගිය සිකුරාදා (මාර්තු 08) දින ධර්මපුරම් ප්‍රදේශයේදී පැවති මෙම වැඩසටහනේදී ඇස් කණ්ණාඩි 570 ක් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත පුද්ගලයන් අතර බෙදාදෙන ලදී. මේ සඳහා පුර්ණ අනුග්‍රහය මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමය සහ ශ්‍රී ලංකාවේ විද්‍යා සීවලෝගනාදන් පදනම විසින් දරන ලදී. මෙම වැඩසටහන යටතේ විශ්වමඩු, තොට්ටිඩි, චුන්ඩිකුලම්, තේරවිල්, පුන්නරාවී, මයිලාවනාපුරම්, භාරතිපුරම් සහ නේතලිආරු යන ප්‍රදේශයෙන්හි තෝරාගත් දෘශ්‍යාබාධිත සිවිල් වැසියන් සඳහා ඇස් කන්නාඩි හිමිවිය.

මෙම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහ දායකත්වය සැපයු ආයතනවල නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.