ආපදා සිදුවීමට පෙර ආපදා තත්වයන් හඳුනාගැනීමේ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කරනවා - ආරක්ෂක ලේකම්

අගෝස්තු 26, 2020

දේපල හා මිනිස් ජීවිතවලට විශාල ලෙස හානි සිදුවීම වැළැක්වීම සඳහා ආපදා තත්වයන් ඇතිවීමට පෙර හඳුනාගෙන ඒවා කළමනාකරණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය.

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අද (අගෝස්තු 26) නාරාහේන්පිට රාජ්‍ය අමාත්‍යාංශයේ පැවති කෙටි උත්සවයකදී සිය ධුරයේ වැඩ බාර ගනිමින් ඔහු පවසා සිටියේ ආරක්ෂක අංශ, පරිපාලන සහ ආපදා කළමනාකරණ යන ක්‍රමවේදයන් එකට එකතු වී මිනිසුන්ට ජීවත්වීමට සාමකාමී වාතාවරණයක් නිර්මාණය කළ හැකි බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” ට අනුව පුළුල් පරාසයක කාර්යයන් ආවරණය කිරීම සඳහා ඔවුන්ට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති අතර අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය අංශයේ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය .

ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 35 ක විශිෂ්ට හමුදා සේවා කාලයක් සම්පුර්ණ කර ඇති  අද්විතීය සොල්දාදුවකු වන එතුමන් හට සිවිල් හමුදා සම්බන්ධීකරණ කටයුතු පිලිබදව මනා දැනුමක්ද ඇත. 2016 වර්ෂයේදී දී සක්‍රීය හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු හෙබවූ අතර වර්ෂ 2012 සිට 2015 දක්වා බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපතිවරයා ලෙසද සේවය කර ඇත.

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී ඩී චන්දන වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය චිත්‍රානි ගුණරත්න, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සුජීවා නෙල්සන් සහ රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරින් සහභාගී වුහ.

Sinhala.