යාපනය සිසුන්ගේ අධ්‍යාපනික තත්ත්වය නංවාලීම සඳහා ආධාර

මාර්තු 14, 2019

යාපනය දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයන්හි ජීවත්වන සිසුන්ගේ අධ්‍යාපනික තත්ත්වය නංවාලීමේ අරමුණින් ඔවුන්ගේ ප්‍රවාහන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් යාපනය අර්දද්විපය තුල රාජකාරියේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් අදාළ සිසුන් වෙත පාපැදි 50 ක් පරිත්‍යාග කරන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් යාපනයේ දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ජිවත්වන සිසුන් සඳහා මෙසේ පාපැදි 50 ක් බෙදාදෙන ලදී. කොළඹ අලුත්කඩේ මහේෂ්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය විසින් මෙම පාපැදි 50 සඳහා පුර්ණ අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.

මෙම පාපැදි බෙදාදීමේ වැඩසටහන යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (මාර්තු 10) දින පැවැත්විණි. මෙම අවස්ථාවට 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න, අනුග්‍රාහකත්වය දැක්වූ සාමාජිකයින් පිරිසක්, ගුරුවරුන්, පාපැදි හිමිවූ දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ආරක්‍ෂක හමුදා විසින් මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යක් වන පාපැදි සිය ගණනක් පාසල් සිසුන් අතර බෙදා දී තිබේ. ඒ අනුව පසුගිය වසරේ සිට මේ දක්වා යාපනය ප්‍රදේශයේ දිළිඳු පවුල්වල පාසල් සිසුන් අතර පාපැදි 800 කට අධික ප්‍රමාණයක් බෙදා දී ඇත. අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් යන දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය මඟහරවා ගැනීම සඳහා මෙය බෙහෙවින් ඉවහල් විය.

යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක සමාජ සුභසාධන ව්‍යාපෘති මගින් විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජිවත්වන අඩු ආදායම් ලාභී පවුල් දහස් ගණනක් වෙත සෙත සැලසී ඇත. ප්‍රදේශයේ වෙසෙන පාසල් සිසුන්ගේ අධ්‍යාපනික තත්ත්වය නංවාලීම සඳහා හමුදා භඨපිරිස් විසින් සිදුකරනු ලබන සේවය අතිමහත්ය. බොහෝ ආගමික සංවිධාන, රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශ විසින් මෙම ව්‍යාපෘති සඳහා සහයෝගය ලබා දේ.