නාවික හමුදාව මහියංගන ගම්වාසීන් දහසකට වැඩි පිරිසකට පිරිසිදු පානීය ජලය සපයයි

අගෝස්තු 30, 2020

දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින්  ශ්‍රී ලංකා නාවික හමුදාව  මහියංගනය ප්‍රදේශයේ බෙලිගල්ල සහ වැව්ගම්පහ යන ප්‍රදේශවල වැසියන්ට ජලය සැපයීම සඳහා ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන ඊයේ (29) දින ස්ථාපනය කර තිබේ.

ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානය, බෙලිගල්ලෙහි දියබාන ඇල සහ මීගහපිටිය යන ප්‍රදේශවල වෙසෙන ගම්වාසීන් දහසකට වැඩි පිරිසකට නව ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් පිරිසිදු  පානීය ජලය සපයයි.

ගිණිකොණ නාවික විධානයේ විධාන මෙහෙයුම්  නිලධාරියාගේ උපදෙස්  පරිදි නව ජල සැපයුම මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ධර්මවිජය බෞද්ධ මධ්‍යස්ථානයේ දී  විවෘත කරන ලදී.

නාවික හමුදාවට  අනුව මෙම නව පිරිපහදු මධ්‍යස්ථාන මගින් පදිංචිකරුවන්ට පමණක් නොව ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානවලට පැමිණෙන බැතිමතුන්ට ද පානීය ජලය සපයයි.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය බෞද්ධ විහාරස්ථානවල ප්‍රධාන නාහිමිවරුන්, මහියංගන සහකාර ප්‍රාදේශීය ලේකම් , ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්, නැවියන් සහ පදිංචිකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.