තද වැසි සහ සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

සැප්තැම්බර් 03, 2020

දිවයින අවට පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පවතින වැසි තත්වය තරමක වැඩිවීමක් සහ සුළං වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි වීමට ඉඩ ඇති හෙයින් ඒ  පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව  බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල මිලි මීටර 150 ඉක්මවු වර්ෂාපතනයක් ලැබිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. උතුර, උතුරු මැද, වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කට මිලිමීටර 100 ක පමණ තද වැසි ලැබිය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

සුළඟ, ගංවතුර හා අකුණු මඟින් සිදුවන හානිය අවම කිරීමට පියවර ගන්නා ලෙස දෙපර්තමේන්තුව විසින්  මහජනතාවට අනතුරු අඟවයි.  

මුහුදු ප්‍රදේශ සඳහා වන කාලගුණ අනාවැකිය මගින් මන්නාරමේ සිට පුත්තලම හරහා පොතුවිල් දක්වා, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන මුහුදු ප්‍රදේශවල සුළං වේගය (කිලෝමීටර 50-55 දක්වා) වැඩි විය හැකි බවට නාවික හා ධීවර ප්‍රජාවන්ට සහ වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ට අනතුරු අඟවයි.  

නාවික හා ධිවර ප්‍රජාවන්ගෙන් අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටී.   

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ජීවිත හා දේපළ ආරක්‍ෂා කර ගැනීම සඳහා කඩිනමින් ඊට අදාළ පියවර ගන්නා ලෙසයි.

පවත්නා අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවිය හැකි ආපදා පිළිබඳව 117 කෙටි දුරකථන අංකය මගින් මහජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධ කරගත හැකිය.