ඩීඑන්ඒ පරීක්ෂණ මගින් මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කරයි

මැයි 22, 2019

රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද DNA පරීක්‍ෂණ අනුව පාස්කු ඉරිදා මරාගෙන මැරුණු බෝම්බ කරුවන්ගේ අනන්‍යතාවය අඟහරුවාදා (මැයි 21) දින සවස තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (මැයි 21) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.

ෂැන්ග්‍රී ලා හෝටලයේ සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරුණු සොහොයුරන් දෙදෙනා වන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් සහ මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් යන අයගේ DNA සාම්පල ඔවුන්ගේ පියා වන ඉබ්‍රාහිම් ගේ DNA සාම්පල සමග සැසඳෙන බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

කටුවපිටිය පල්ලියේ මරාගෙන මැරුණු බෝම්බකරු වන අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් ගේ DNA සාම්පල ඔහුගේ දෙමාපියන්ගේ DNA සාම්පල වලට ද, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන අලවුඩීන් අහමඩ් මූවාත් ගේ DNA සාම්පල ඔහුගේ දෙමාපියන්ගේ DNA සාම්පල සමග ද සැසදී ඇත. දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් ගේ DNA සාම්පල ඔහුගේ භාර්යාවගේ සහ දරුවාගේ DNA සාම්පල සමග සැසඳී තිබේ.

මඩකළපුව පල්ලියේ මරාගෙන මැරුණු බෝම්බකරු වන මොහමඩ් නසාර් මොහොමඩ් අසාත් ගේ DNA සාම්පල ඔහුගේ මවගේ DNA සාම්පල සමග සහ කින්ස්බරි හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වන මොහමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ගේ DNA සාම්පල ඔහුගේ භාර්යාවගේ හා දරුවාගේ DNA සාම්පල සමගද සැසඳී ඇත. දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවසක සිදුවූ පිපිරීම් දෙක මොහොමඩ් ෆාතිමා ජිෆ්රි විසින් සිදුකරගෙන ඇති බවටත් ඇය ෂැන්ග්‍රී ලා හෝටලයේ දී මරාගෙන මැරුණු බෝම්බකරු වන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් ගේ බිරිඳ බවටත් තහවුරු වී ඇත. එමෙන්ම මහවිල උද්‍යානයේ නිවසක සිදුවූ පිපිරීමෙන් ජිවිතක්‍ෂයට පත් දරුවන් තිදෙනා ඉල්හාම් සහ ෆාතිමා ජිෆ්රි යන දෙදෙනා ගේ දරුවන් බව ද තහවුරු කර ඇත.

ෂැන්ග්‍රී ලා හෝටලයේ මරාගෙන මැරුණු අනෙක් බෝම්බකරු වන මොහමඩ් කාසිම් මොහොමඩ් සහරාන් ගේ DNA සාම්පල ඔහුගේ බිරිඳ සහ දරුවාගේ DNA සාම්පල සමග සැසඳෙන බව රජයේ රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසිය.