DMC විසින් සුනාමි පෙරහුරු වැඩසටහනක් පවත්වන ලදී

ඔක්තෝම්බර් 13, 2020

රටවල් 28 ක තාක්ෂණික සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (ඔක්තෝබර් 13) දින කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනක් පවත්වන ලදී.

ආපදා අවධානම අවම කිරීමේ ගෝලීය සංස්කෘතියන්  ප්‍රවර්ධනය කිරීම සඳහා ආපදා අවම කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මෙම වැඩසටහන පැවැත්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  පැවසීය .

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ), අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිෂන් සභාව සහ ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය මඟපෙන්වීම සහ තාක්ෂණික සම්බන්ධීකරණය ලබාදෙන ලදි.

මඩකලපුව, ත්‍රිකුණාමලය, කළුතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  අවධානය යොමු කරමින් මෙම පෙරහුරුව ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය  විසින් සිදු කරන ලදී.

ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය විසින් තාක්‍ෂණිකව සම්බන්ධ කර ඇති මෙම අභ්‍යාසය සඳහා මහජන සහභාගීත්වයක් නොතිබූ අතර මෙම වැඩසටහන දිස්ත්‍රික් මට්ටම දක්වා පූර්ව තක්සේරු කිරීමේ යාන්ත්‍රණය පරීක්ෂා කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කළේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, වැඩසටහනේ අපේක්ෂිත අරමුණු අතරට පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිවල ඵලදායීතාවය පරීක්ෂා කිරීම, අනාගතය සඳහා උපාය මාර්ග හඳුනා ගැනීම සහ පවතින අඩුපාඩු මඟහරවා ගැනීම, පූර්ව අනතුරු ඇඟවීම සඳහා වඩාත් ඵලදායී හා ජාතික මට්ටම සිට දිස්ත්‍රික් මට්ටම දක්වා සුදුසු සන්නිවේදන උපාය මාර්ග හඳුනා ගැනීම සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි පරීක්ෂා කිරීම ඇතුළත් වේ.