රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

ඔක්තෝම්බර් 20, 2020

පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් සදහා රැකියා ලබා දීමේ  වැඩසටහනේ ප්‍රථම අදියර සඳහා 34,818 දෙනෙකු තෝරාගෙන ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ අභ්‍යාසලාභීනට පත්වීම් ලිපි ප්‍රදානය අද දින (19) ආරම්භ කළ බවයි.

පත්වීම්ලාභීන්ට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් අංශ 25 ක මාස 06 ක විධිමත් පුහුණුවක් ලැබෙනු ඇති අතර ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) විසින් ඔවුන්ගේ පුහුණුව අධීක්ෂණය කරනු ඇත.
 
පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියෙකුට රුපියල් 22,500 ක මාසික දීමනාවක් ගෙවනු ලබන අතර පුහුණුව අවසානයේ  NVQ III ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරේ.

මෙම රැකියා ලක්ෂයේ වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳුබවින් තොර ශ්‍රී ලංකාවක්” බිහි කිරීමේ සංකල්පය අනුව සැලසුම් කරන ලද්දකි.

ඔවුන්ට PL–01 ශ්‍රේණිය යටතේ ස්ථිර පත්වීම් ලබා දෙන අතර අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල වල පවත්නා පුරප්පාඩු පිරවීම සඳහා යොමු කෙරේ.